ස්වර්ණ පුස්තක කෙටි ලැයිස්තුවට අලුත් මුහුණක්

sp

ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ කෙටි ලැයිස්තුව නිකුත් කර ඇති අතර ඒ සඳහා සුමුදු නිරාගි සෙනෙවිරත්න විසින් ලියැවුණු දූල්වල අලංකාරේ නවකතාව ඇතුළත්ව තිබීම සාහිත්‍ය ක්ෂේත්‍රයේ වෙසෙස් අවධානයට ලක්වී ඇත.

ඇගේ නවකතාවක් මෙසේ මෙම සම්මාන උළෙලට ඇතුළත් වූයේ පළමු වතාවට ය. මෙම කාතිය 2015 ගොඩගේ අත්පිටපත් තරගයේ ප්‍රශස්ත කෘතියක් ලෙස තේරී පත් වී ප්‍රකාශයට පත්විය.

ඓතිහාසික නවකතාවක් වන මෙම නවකතාවට පසුබිම් වී ඇත්තේ 18වැනි සියවසේ සමාජයට විශාල වශයෙන් බලපෑ යුරෝපීය සංස්කෘතික ආක්‍රමණය, විහාර දේවාලගම් පනත සහ මුඩුබිම් පනතයි.

සෙසු කෘති

දූල්වල අලංකාරේට අමතරව ප්‍රවීනතම නවකතාකරුවන් වන සුනේත්‍රා රාජකරුණානායකගේ කොළඹයා සහ ෂැංහයියා, එරික් ඉලයප්පාරච්චිගේ පරදේසී, ලියනගේ අමරකීර්තිගේ අහම්බකාරක සහ තරුණ නවකතාකරුවකු වන මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ මාණික්කාවත අවසන් කෘති පහ අතරට තේරී ඇත.

අතීත වාර්තා

මෙම නවකතාවරුවන් හා නවකතාකාරියන් අතරින් සුනේත්‍රා රාජකරුණානායක දෙවතාවක් ස්වර්ණ පුස්තක සම්මානය හිමිකරගෙන ඇත. ඇය 2009 වසරේ පොදු පුරුෂයා වෙනුවෙන් හා 2011 වසරේ කවිකඳුර වෙනුවෙනි. එසේම 2008 වසරේදී ඇයගේ සුබෝධාලංකාරය සහ 2010 වසරේ බුද්ධදාසී යන කෘති අවසාන කෘති පහ අතර තිබුණි.

ලියනගේ අමරකීර්ති 2014 වසරේ කුරුලු හදවත වෙනුවෙන් සම්මානය හිමිකරගත්තේ ය. ඔහුගේ අටවක පුත්තු 2008 වසරේ අවසන් කෘති පහ අතර තිබුණි.

එරික් ඉලයප්පාරච්චිගේ පාදයාත්‍රා කෘතියද, මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ සෙංකොට්ටං  යන කෘතීන්ද ස්වර්ණ පුස්තක සම්මානය සඳහා මීට ඉහතදී කෙටි ලැයිස්තුගත විය.

අවසන් මණ්ඩලය
මෙම සාහිත්‍ය සම්මාන උළෙල ඇරඹුණේ 2007 වසරේ දී ය. මෙවර පැවැත්වෙන්නේ දසවැනි සම්මාන උළෙලයි.

ජයග්‍රාහි කෘතිය තෝරා ගැනෙන්නේ මහාචාර්ය කේ.එන්.ඕ.ධර්මදාස, මහාචාර්ය පැට්‍රික් රත්නායක, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ජ්‍යෙෂ්ට මාධ්‍යවේදී හා ප්‍රවීන කිවියර තිලකරත්න කුරුවිට බණ්ඩාර සහ සිනමාවේදී ප්‍රසන්න විතානගේ යන පංච පුද්ගල විනිශ්චය මණ්ඩලය විසිනි.

දිගු ලැයිස්තුව සහ අර්බුදය

ස්වර්ණ පුස්තක සම්මානය සඳහා දිගු ලැස්තුගත කිරීමේදී තෝරාගැනුණේ ටෙනිසන් පෙරේරාගේ මහාරාවණ, සුනේත්‍රා රාජකරුණානායකගේ කොළඹයා සහ ෂැන්හයියා,  එරික් ඉලයප්ආරච්චිගේපරදේසි, ලියනගේ අමරකීර්තිගේ අහම්බකාරක, සමන් වික්‍රමආරච්චිගේ අසන්ධිමිත්තා, කපිල කුමාර කාලිංගගේසැප්තැම්බරයේ දිග දවසක්, පී.බී. ජයසේකරගේ අවලමා සහ ඇහැටුව, මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ මාණික්කාවත, චන්ද්‍රරත්න බණ්ඩාරගේ වලාකුළු බැම්ම, නදී වාසලමුදලිආරච්චිගේ වුල්ෆන්ඩාල් ස්ට්‍රීට්, සුමුදු නිරානි සෙනෙවිරත්නගේදුල්වල අහන්කාරේ සහ එච්.බී. ගුණරත්නගේ හිතුවක්කාරී යන නවකතා කෘති දොළහයි.

නමුත් මෙම නම්කිරීමෙන් පසු අසන්ධිමිත්තා සහ සැප්තැම්බරයේ දිගු දවසක් යන කෘති මෙම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට සංවිධායක මණ්ඩලය ක්‍රියා කළේය. ඊට හේතුවූයේ එම කෘති දෙක මුද්‍රණය විමට පෙර පුවත්පත් වල කොටස් වශයෙන් පළවී තිබීමයි.  එය මෙම තරගයට අදාල නිතියක් උල්ංඝනය කිරීමක් විය. මෙම තීන්දුවෙන් පසු මාධ්‍ය විශාල විවාදයක් ඇති විය. එම විවාදය, සම්මාන උණුසුම තීව්‍ර කරලන්නක් වී තිබුණි.

Related posts

Comments are closed.

Top