ශ්‍රී ලංකාවට මැදිහත් වන ලෙස මහින්ද පිල එක්සත් ජාතීන්ගෙන් ඉල්ලයි | VIDEO

 

UN Ravana balaya 3

ශ්‍රී ලංකාව ආරක්ෂා කර දීම සඳහා මැදිහත් වන ලෙස මහින්ද රාජපක්ෂ හිතවාදී දේශපාලන නායකයන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා තිබේ.

තම ඉල්ලීම රැගත් සන්දේශයක් දිවයිනට පැමිණ සිටින ජගත් සංවිධාන මහලේකම්වරයා අත පත් කිරීම පිණිස මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ කටයුතු කරන මන්ත්‍රීවරුන් පිරිසක් විසින් 1 බ්‍රහස්පතින්දා පෙරවරුවේ කොළඹ පිහිටි එජා කාර්යාලයට භාර දෙන ලදී.

“රටට විරුද්ධව ගෙනියන ජාත්‍යන්තර ප්‍රහාරයන්ගෙන් මේ රට ආරක්ෂා කරදෙන ලෙසත්, සත්‍ය ගරුකව යුක්ති සහගතව සාධාරණය ඉෂ්ට කිරීම සඳහා  රටට අභ්‍යන්තර කටයුතු කරන්න රටට නිදහසේ ඉඩ දෙන ලෙසත්, අපේ ස්වෛරී භාවය, නිදහස සහ අඛන්ඩතාව ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජාතීන් වශයෙන් මැදිහත් වන ලෙසත්,” ඉල්ලා සිටි බව සංදේශය භාර දීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇමතූ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේය.

සිසිර ජයකොඩි සහ වීරකුමාර දිසානායක යන මන්ත්‍රීවරු ද සංදේශය භාර දීමට එක්ව සිටියහ.

‘ජාත්‍යන්තර නීති කඩ නොකර, සමුහඝාතනවලින් තොරව ජාත්‍යන්තර සම්මතයන්ට අනුකුලව’ යුද්ධ කළ ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට ‘අයථා චෝදනා නගා දඬුකඳේ ගැසීමට’ දැරෙන බවට පැවසෙන උත්සාහයක් පරාජය කරන ලෙස ද ඔවුන් එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා තිබේ.

‘ඒකාබද්ධ විපක්ෂයේ’ නායකයා ලෙස දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ගේ අත්සනින් සංදේශය භාරදී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලුම පක්ෂ වල නමිනි.

‘වැඩලා බෑ’

ඒ සමගම මහලේකම් බැංකි මූන් හට දීමට පෙත්සමක් භාර දෙමින් සිංහල බෞද්ධ සංවිධානයක් විසින් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමට එරෙහිව විරෝධය පල කරන ලද්දේ යුද්ධය  පැවති කාල වකවානුවේ කිසිත් නොකළ බව පවසමිනි.

රජයේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදෙන මහ ලේකම් වරයා ‘බෑන් චුන්’ යනුවෙන් හඳුන්වමින් රාවණා බලය සභාපති  අක්මීමන දයාරතන හිමි ප්‍රකාශ කළේ ඔහු “රටේ අභ්‍යන්තරයට ඇඟිලි ගහලා රට විනාස කරන්න සුදානම් වන,” බවයි.

ආණ්ඩුවට විරෝධය පෑමට එක් නොවන බෞද්ධ භික්ෂුන් වහන්සේද රාවණා බලය සංවිධානයේ දෝෂ දර්ශනයට ලක්විය.

“මේ යහපාලනය රට කාගෙන දුවන දිවිල්ලට වැඩලා බෑ දුවන්නම වෙනවා,” යි එම සංවිධානයේ කැඳවුම්කාර ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පැවසූහ.

 

 

Related posts

Comments are closed.

Top