ස්වර්ණ පුස්තක සටන් බිමේ අහම්බයක් නොවූ අහම්බකාරක ජය

Liyanage Amarakeerthi

ශ්‍රී ලංකා සාහිත්‍ය අනු මණ්ඩලයේ හිටපු සභාපතිවරයකුද, විචාරක ලේඛක හිමිනමක්ද විසින් කල්තියා ප්‍රකාශ කර තිබූ පරිද්දෙන්ම ලියනගේ අමරකීර්ති ලියූ අහම්බකාරක නවකතාවට මේ වසරේ ස්වර්ණ පුස්තක සම්මානය හිමිවිය.

හිටපු අනු මණ්ඩල සභාපති බුද්ධදාස ගලප්පත්ති කිවියා සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වෙන 10 සෙනසුරාදා දවල් යාමයේ පරදු තබා සිටියේ මීට පෙර සම්මාන ලබා ඇති නවකතා කරුවකුට සම්මානය හිමිවන බවයි.

“මොකද කියන්නෙ අල්ලමුද ඔට්ටුවක්
නවකතාකාරියෙකුට ද, නවකතාකාරියකට ද
මීට පෙර සම්මාන ලැබූ අයෙක් ද නැද්ද
මගේ අනාවැකිය
මීට පෙර සම්මාන ලබා ඇති නවකතාකරුවෙකුට,” යි ගලප්පත්ති කවියා වත්පොත් සටහනක් යොදා තිබුනි.

‘බ්‍රේකින් නිව්ස්’

මේ වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ සහ ගොඩගේ සාහිත්‍ය උළෙලේ ප්‍රධාන ජයග්‍රාහකයන් සම්මාන ප්‍රදානයට පෙරම ‘බ්‍රේකින් නිව්ස්’ ලෙසින් බුද්ධදාස ගලප්පත්ති විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් කිරීම සාහිත්‍ය වේදීන් අතර සංවාදයට හේතු විය.

මෙවර ස්වර්ණ පුස්තක අවසාන වටයට තේරුනු කෘති ලියුවන් අතරින් අතීතයේ ස්වර්ණ පුස්තක ජය ලබා ඇත්තේ දෙදෙනකු පමණි.

ඉන් එකම පිරිමියා 2014 වසරේ කුරුලු හදවත වෙනුවෙන් සම්මානය හිමිකරගත් ලියනගේ අමරකීර්ති යි.

සුනේත්‍රා රාජකරුණානායක දෙවතාවක් ස්වර්ණ පුස්තක සම්මානය හිමිකරගෙන ඇත්තීය.

ඒ 2009 වසරේ පොදු පුරුෂයා වෙනුවෙන් හා 2011 වසරේ කවිකඳුර වෙනුවෙනි.

swarna pusthaka

“අනෙක් සම්මාන උළෙලවල දී කතුවරයා දෙස නොබලම කෘතිය පමණක් සැලකිල්ලට ගෙන සම්මාන දුන්නාට අද කතුවරයා බලවත් වෙයි කියලා හිතෙනවා. මම එහෙම කියන්නේ කෘතිය ප්‍රභලබව නිසා නොව විනිශ්චය මණ්ඩලයේ සංයුතිය දිහා බලලා. දෘෂ්ටිවාදී ගුරුකුල වන්දනය, ගුරු ගෝල ලැදියාව, හිතමිත්‍ර සන්ථවය පෙරට ඇවිත් දෙකක් නෑ “අහම්බකාරක” ස්වර්ණ පුස්තකය කරනවා,” යි සම්මාන දා පාන්දරින්ම රත්තනදෙනියේ මේධානන්ද හිමියන් වත්පොතේ ලියා තිබුනි.

එදින රාත්‍රියේ උන්වහන්සේ මෙසේ උදම් ඇනූ සේක.

“2016 ස්වර්ණ පුස්තක සම්මානය මම කල්තියා කියූ ආකරයටම සිදුවුණා. අහම්බකාරක අභිෂේක ගත කලා.”

සෙසු කෘති

වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ සුමුදු නිරාගි සෙනෙවිරත්නගේ දූල්වල අලංකාරේ අමතරව ප්‍රවීනතම නවකතාකරුවන් වන සුනේත්‍රා රාජකරුණානායකගේ කොළඹයා සහ ෂැංහයියා, එරික් ඉලයප්පාරච්චිගේ පරදේසී සහ තරුණ නවකතාකාර මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේමාණික්කාවත අවසන් වටයට තේරුණු අනිත් කෘති හතරයි.

දසවැනි වරට පැවැත්වුනු මෙම සාහිත්‍ය සම්මාන උළෙල ඇරඹුණේ 2007 වසරේ දී ය.

ජයග්‍රාහි කෘතිය තෝරා ගනු ලැබුයේ මහාචාර්ය කේ.එන්.ඕ.ධර්මදාස, මහාචාර්ය පැට්‍රික් රත්නායක, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ජ්‍යෙෂ්ට මාධ්‍යවේදී හා ප්‍රවීන කිවියර තිලකරත්න කුරුවිට බණ්ඩාර සහ සිනමාවේදී ප්‍රසන්න විතානගේ යන පංච පුද්ගල විනිශ්චය මණ්ඩලය විසිනි.

Related posts

Comments are closed.

Top