‘පොලීසිය කුලී නොගෙවා උතුරේ ගෙවල් අල්ලාගෙන’ විග්නේස්වරන් | VIDEO

Pujith Jayasundara Sagala

උතුරේ පොලිස් ස්ථාන සඳහා සියයකට අධික නිවාස සංඛ්‍යාවක් කිසිදු කුලියක් නොගෙවා අත්පත් කරගෙන සිටින බව නීතිය හා සාමය භාර අමාත්‍යවරයා සහ පොලිස්පතිවරයා හමුවේ උතුරේ මහ ඇමැතිවරයා හෙළි කොට සිටියේය.

යුද්ධය සමයේ පොලිසිය විසින් අල්ලාගත් ඇතැම් නිවාස ඒවායේ හිමිකරුවන්ට ආපසු නොදී පොලිස් ස්ථාන සඳහා මෙන්ම පොලිස් නිලධාරීන්ගේ පරිහරණය සඳහාද පාවිච්චි කෙරෙන බව මහ ඇමැති සීවී විග්නේස්වරන් ප්‍රකාශ කළේ අමාත්‍ය සාගල රත්නායක සමග මහජන නියෝජිතයන්, රජයේ නිලධාරීන් සිවිල් සමාජ නියෝජිතයන් සහ හමුදා පොලිස් නිලධාරීන් සමග සති අන්තයේ යාපනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.

“යුක්ති සහගත කුලියක් ගෙවනවා නම්, ඒක වෙනම කතාවක්. ඒත් කාටවත් කිසිම කුලියක් දෙන්නේ නැහැ,” යි කී මහ ඇමතිවරයා ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

ආණ්ඩුවට සල්ලි නෑ

ඉඩම් ආපසු ලබා දිය යුතු බව පිළිගත් සාගල රත්නායක අමාත්‍යවරයා, කියා සිටියේ ප්‍රමාණවත් පොලිස් ස්ථාන ඉදි කිරීමට වසර ගණනාවක් ගතවනු ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය මුදල් රජය සතුව නැති බවත්ය.

“දිය හැකි තැන්වල අපි ආපහු දෙනවා. අපිට අවශ්‍ය තැන්වල අපි කුලියක් දෙන්න සාකච්ඡා කරනවා. ආරක්ෂාව සඳහා අත්‍යාවශ්‍ය තැන්වල අපිට ඒවා වෙළෙඳපොල මිල ගෙවා ගන්නවා,” යි අමාත්‍ය රත්නායක පැවසීය.

අමාත්‍යවරයා සහ පොලිස්පතිවරයා විසින් උතුරේදී මුලතිව් දිස්ත්‍රික්කයේ ඔඩ්ඩුසුඩාන්හි රුපියල් කෝටි හයකට අධික වැයක් දරා ඉදි කරන ලද නව පොලිස් ගොඩනැගිල්ල විවෘත කිරීමටද සිදු කරන ලදී.

පොලිසියට විරුද්ධ පැමිණිළි

මේ අතර, සාකච්ඡාවට සහභාගි වූ ප්‍රජා නායකයන් ප්‍රකාශ කළේ යුද්ධයෙන් පසු යාපනයේ මත් උවදුර බරපතල ලෙස උග්‍ර වී ඇති බවයි.

වෙළෙන්දන් ලෙස පැමිණෙන ‘පිටස්තරයන්’ වාහන වලින් පැමිණ මත්ද්‍රව්‍ය අලෙවි කරන බව ඔවුහු පැමිණිළි කළහ.

මත්ද්‍රව්‍ය පැතිරීමට සහ අපරාධ වලට දඬුවම් කිරීමට වඩා වැලැක්වීම ප්‍රධාන බව ප්‍රකාශ කළ සාගල රත්නායක අමාත්‍යවරයා පැමිණිළි සම්බන්ධයෙන් පියවර නොගෙන සිටිය නොහැකි බවට පොලිසියට නියෝග කොට ඇති බව පැවසීය.

“පොලිසිය ගැන පැමිණිල්ලක් එන්න බැහැ. මම එනවා මාස දෙකකින් බලන්න,” යි අමාත්‍යවරයා අනතුරු ඇඟවීය.

දෙමළ සඳහා දුරකතන අංක

දෙමළ භාෂාවෙන් පැමිණිළි භාර ගැනීමට නිලධාරීන් පොලිස් ස්ථාන වල නොමැති නම් භාෂා සහාය ලබා ගැනීමට ඇමතීම සඳහා 0766224949 සහ 0766226363 යන විශේෂ දුරකතන අංක වෙනකොට ඇති බව සාකච්ඡාවට එක්වූ පොලිස්පති පූජිත් ජයසුන්දර දැනුම් දුන්නේය.

පොලිස් නිලධාරීන්ගේ දෙමළ භාෂා ප්‍රවීනත්වය ඉහළ නැංවීම සඳහා පියවර ගනිමින් සිටින බවද අමාත්‍ය සාගල රත්නායක වැඩිදුරටත් පැවසීය.

Related posts

Comments are closed.

Top