වර්තමාන ආණ්ඩුවේ පාලන සමය යටතේ අත් අඩංගුවේ දී වධ හිංසා පැමිණවීම් 17ක් පිළිබඳව වාර්තා වී ඇතැයි දහස් සංඛ්‍යාත ජන සහභාගිත්වයකින් යාපනයේ පැවති ‘දෙමළ පිබිදීම’ බහුජන උද්ඝෝෂණ ව්‍යාපාරයේ සමාරම්භක රැලිය අමතා උතුරේ මහ ඇමතිවරයා ප්‍රකාශ කළේය.
ඒ ඇතුලු දෙමළ ජනතාව සම්බන්ධ ගැටළු ගණනාවක් තවමත් නො විසඳී පවතින බව උතුරේ හමුදාකරණය, සිංහලකරණය සහ බෞද්ධකරණය ට විරෝධය පෑම සහ දෙමළ ජනතා අයිතිය දිනාගැනීම වෙනුවෙන් පැවති උද්ඝෝෂණ රැලියේ ප්‍රධාන දේශනය පවත්වමින් මහ ඇමැති සීවී විග්නේස්වරන් කියා සිටියේය.
පුරා දශකයකට වැඩි කාලයකට පසු යාපනයේ වැඩිම ජනකායක් සහභාගිවූ උද්ඝෝෂණය 24 සෙනසුරාදා පැවති ‘දෙමළ පිබිදීම’ (එලුග තමිල්) බව ගගන යාපනය වාර්තාකරු පවසයි.
උතුරේ උද්ඝෝෂණයකට මේසා විශාල පිරිසක් අවසාන වතාවට එක්වී ඇත්තේ යුද්ධය ඇවිලීමට පෙර සාම සාකච්ඡා පැවති සමයේය.
පෙඩරල් පාලනයක්
උතුරේ ජන සංයුතිය වෙනස් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සැලසුම් සහගතව ක්‍රියා කරගෙන යන බව මහ ඇමතිවරයාගේ චෝදනාවක් විය.
ඒ සඳහා සිංහල පවුල් දහස් ගණනින් බලහත්කාරයෙන් උතුරේ පදිංචි කරවන බව ඔහු කියා සිටියේය.
ස්වයංතීරණයේ අයිතිය සහිත පෙඩරල් පාලන ක්‍රමයක් සහ යුද්ධයේ අවසාන අදියරේ දෙමළ ජන සංහාරය පිලිබඳ විභාග කිරීම සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයක් උද්ඝෝෂණයේ ප්‍රධාන ඉල්ලීම් අතර විය.
ඉල්ලීම් සිංහලෙන්
ඉල්ලීම් රැගත් ධජ පුවරු රැළිය පැවති යාපනයේ මුට්රවෙලි පිටිය වටා දෙමළෙන්, සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් එල්ලා තිබෙනු දක්නා ලදී.
රැලිය අමතමින් දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් කියා සිටියේ ‘මේ ආරම්භයක් පමණක්’ බවයි.
අලුතින් කෙටුම්පත් කිරීමට යෝජිත රටේ ව්‍යවස්ථාවේ දෙමළ ජනතා අභිලාෂය පිළිබිඹු වුයේ නැතහොත් ‘දෙමළ පිබිදීම’ බහුජන උද්ඝෝෂණය තවත් පුළුල් වනු ඇති බවට ඔහු දැනුම් දුන්නේය.
යාපනයේ නල්ලුර් කෝවිල සහ යාපනය විශ්ව විද්‍යාලය පිහිටි පරමේශ්වරා මංසන්ධියෙන් පෙරවරුවේ ඇරඹුනු පෙළපාලි දෙකක් පලාලියේ ඉලුප්පෙයිඅඩි මංසන්ධියේදී එක්වී යාපනය නගරයේ වීදි සංචාරය කර මුට්රවෙලි පිටියට පැමිණීමෙන් පසු රැලිය ආරම්භ විය.
රැලිය අවසන් කෙරුනේ යුද ආබාධිතයකු විසින් ගිනිහුලක් දැල්වීමෙන් අනතුරුවයි.
උද්ඝෝෂණයට සහාය පිණිස නගරයේ කඩ සාප්පු වසා තිබෙනු දක්නා ලදී.