විග්නේස්වරන් කොච්චර කෑ ගැහුවත් රජයේ වැඩ පිළිවෙල දිගටම: ආරක්ෂක රාජ්‍ය ඇමැති

Ruwan in Rantambe

උතුරේ මහ ඇමැතිවරයාගේ නායකත්වයෙන් යාපනයේ මුළුදුන් එලුග තමිල් දෙමළ පිබිදීම උද්ඝෝෂණ ව්‍යාපාරයේ ඉල්ලීම් වලට කන්දීමට කිසිසේත් සුදානම් නැති බව රජය කියා සිටියි.

“කොච්චර කෑ ගැහුවත් අපේ වැඩ පිළිවෙල දිගටම කරගෙන යනවා,” යි ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා රන්ටැඹේ ශිෂ්‍යභට බලකා කඳවුරේ පැවති උත්සවයකට සහභාගි වෙමින් ප්‍රකාශ කළේය.

උතුරේ නොවිසඳුණු ගැටළු විසඳා ගැනීම වෙනුවෙන් දහස් සංඛ්‍යාත ජනකායක් මුට්‍රවෙලි පිටියට කැඳවා ගත් දෙමළ ජනතා සභාවේ දේශපාලන නායකත්වය රුවන් විජේවර්ධන ඇමැතිවරයා විසින් හඳුන්වන ලද්දේ අන්තවාදීන් ලෙසිනි.

“රජය විසින් සංහිඳියාවක් ඇති කරන්න හදන අවස්ථාවේ සංහිඳියාවට විරුද්ධව අන්තවාදී දේශපාලන ව්‍යුහයක් උතුරේ ජනතාවට ලබා දීමේ උත්සාහයක්,” දරන බවට ඇමැතිවරයා චෝදනා කළේය.

හමුදාකරණය, සිංහලකරණය සහ බෞද්ධකරණය අත් හිටුවීමත් දෙමළ පිබිදීම ව්‍යාපාරයේ මූලික ඉල්ලීම් අතර විය.

සිංහලෙන් කළ දෙමළ ඉල්ලීම

දෙමළ ජනතාවගේ ඉල්ලීම් කවරේදැයි සිංහලෙන් පැහැදිලි කරමින් උතුරේ මහ ඇමැති විග්නේස්වරන් සිංහලයන් හට ආරාධනයක් කර සිටියේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවකට එළඹෙන ලෙසයි.

“ඒ ඉල්ලීම් වලට ඇහුම්කන් දෙන්න වත් අපිට කිසිම අවශ්‍යතාවක් නෑ,” යනුවෙන් රුවන් විජේවර්ධන අමාත්‍යවරයා ඒවා ප්‍රතික්ෂේප කළේය.

උතුරේ මහ ඇමැති වරයා එලුග තමිල් සමාරම්භක රැලියේදී අවධාරණය කර සිටියේ උතුරු පළාත් සභාව පිහිටුවා වසර තුනක් ගතවන තුරුත් ආණ්ඩුවට ඉදිරිපත් කාරනා ලද දෙමළ ජනතාවගේ ඉල්ලීම් වලට විසඳුමක් නොලැබුනු තැන බහුජන උද්ඝෝෂණ මාවතට පිවිසෙන්නට සිදුවූ බවයි.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වරයාගේ ශ්‍රී ලංකා සංචාරයට කිහිප දිනකට උතුරට ගිය විදේශ ඇමැති මංගල සමරවීර යුද පීඩිතයන් හා කියා සිටියේ යුද හමුදාව වාඩි ලාගෙන සිටින භුමිය නිදහස් කිරීමට කඩිනම් පියවර ගන්නා බවයි.

“මොන විදියේ ඉල්ලීම් කළත් උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීමට අපි කිසිම විදියකට එකග වෙන්නේ නෑ,” යි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන රන්ටැඹේ දී දැඩිසේ කියා සිටියේ ය.

රන්ටැඹේ ශිෂ්‍යභට බලකා කඳවුරේ පැවති කනිෂ්ට ශිෂ්‍ය භට පුහුණුව 35 වසරකට පසු නැවත ආරම්භ කිරීමේ උත්සවයට බාලක බාලිකාවන් හාරසියයක් සහභාගී වූ බව ආරක්ෂක අමාත්‍යාංශය දනුම් දී තිබේ.

Related posts

Comments are closed.

Top