යුද්ධයෙන් අවතැන් වීමෙන් අනතුරුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වෙරුගල් වෙත ගෙන එන ලද කල්ලඩියේ කාලිමෑණියන් ගේ කෝවිලක් ගිනි තැබීම පිලිබඳ සැකපිට අත් අඩංගුවට ගන්නා ලද විහාර සේවකයකු පසුව පොලිස් ඇප මත මුදා හැර තිබේ.
සැප්තැම්බර් 26 පෙරවරුවේ කෝවිල ගිනිතැබීමට සම්බන්ධ බවට දෙමළ ජාතික සන්ධානය චෝදනා කරන්නේ ප්‍රදේශයේ ඉදි කෙරෙමින් පවතින බෞද්ධ විහාරස්ථානයකටයි.
කෝවිලේ මුළුතැන් ගබඩාව ගින්නෙන් විනාශ වී තිබෙන ආකාරය එහි ගිය මාධ්‍යවේදීන්ට දැක ගන්නට හැකිවිය.
පාෂාණ පබ්බත විහාරය
කාලි කෝවිල තුන්සිය වසරකට වැඩි කලක් තිස්සේ පිහිටි කල්ලඩියේ කඳු මුදුනේ අලුතින් ඉදිකරමින් තිබෙන පාෂාණ පබ්බත විහාරස්ථානය මෙම ගිනි තැබීමට සම්බන්ධ යැයි දෙමළ ජාතික සන්ධානයේ මඩකලපු මන්ත්‍රී සීනිතම්බි යෝගේස්වරන් වෙරුගල් හිදී මාධ්‍යවේදීන් අමතා කියා සිටියේය.
විහාරාධිපති හිමියන් බාධා පමුණුවන හෙයින් කෝවිල මුල් ස්ථානයට ගෙනයා නොහැකිව තිබෙන බවද ඔහු සඳහන් කළේය.
පාෂාණ පබ්බත විහාරාධිපති වෛද්‍ය රත්නපුර දේවානන්ද හිමියන් කියා සිටින්නේ මේ තමන් පන්සලින් එලවා ගැනීමට වීරිය කරන ප්‍රදේශවාසීන්ගේ චෝදනාවක් බවයි.
ප්‍රදේශවාසීන් පවසන පරිදි කාලි කෝවිලට ගිනි තැබූ බවට සැක කෙරෙන පුද්ගලයා දිවගොස් ඇත්තේ විහාරස්ථානය වෙතටයි.
සේරුනුවර පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද සමන් නානායක්කාර නමැති පාෂාණ පබ්බත විහාරවාසියකු සැප්තැම්බර් 27 දා විහාරාධිපති හිමියන් වෙත ඇප පිට මුදා හරින ලද බව ත්‍රිකුණාමල පොලිස් මුලස්ථානය පවසයි.
මලෙයි නීලි අම්මන් කෝවිල
වල් වැදී තිබුණු කල්ලඩි පර්වතය මත විහාරස්ථානය ඉදි කිරීමේ කටයුතු ආරම්භ කොට ඇත්තේ 2009 ජුනි දෙවැනිදාය.
මලෙයි නීලි අම්මන් කෝවිල නමින් හැඳින්වුණු කල්ලඩි කාලි කෝවිල අසල එල්ටීටීඊ සංවිධානයේ ගුවන් විදුලි සම්ප්රේෂණාගාරයක්ද කඳු මුදුනේ ඉදිකොට තිබුනි.
ශ්‍රී ලංකා යුද හමුදාව 2007 දී ප්‍රදේශය අත්පත් කරගනිද්දී විනාශ කෙරුනු කෝවිල එතැනින් වෙරුගල් බලා ගෙන යාමෙන් අනතුරුව ජනශුන්‍ය වූ ප්‍රදේශය වල් බිහිවී ඇත.
සිංහල කතා කරන අය නෑ
අලුතින් ඉදිකරන ලද විහාරස්ථානය අවට සිංහල කතා කරන කිසිවකුත් නොමැති බව විහාරාධිපති හිමියෝ පවසති.
කිසිම බෞද්ධයකු ජීවත් නොවන පලාතක බෞද්ධ විහාරයක් ස්ථාපිත කිරීම මගින් හින්දුන්ගේ පාරම්පරික උරුමය අහිමි කොට ඇති බව මඩකලපු මන්ත්‍රී සීනිතම්බි යෝගේස්වරන් පවසයි.