ආණ්ඩුවේ නිලධාරීන්ට විරුද්ධව ගල් අඟුරු වංචා පැමිණිල්ලක්

Rajith coal complaint take

නොරොච්චෝලේ තාප බලාගාරයට ගල් අඟුරු මිලදී ගැනීමේදී ජයේ නිලධාරීන් වංචනික ලෙස කටයුතු කොට ඇති බවට  දූෂණ විරෝධී පෙරමුණ ආණ්ඩුවේ දුෂණ මර්දක බලධාරීන් වෙත පැමිණිලි කොට තිබේ.

ගල් අඟුරු සැපයීමේ කොන්ත්‍රාත්තුව ස්විස් සිංගප්පූර් නම් සමාගමට පැවරීම විෂමාචාරයක් බව දූෂණ විරෝධී පෙරමුණ සැප්තැම්බර් 29 දා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත ලබා දුන් පැමිණිලි කරමින් පවසයි.

පෙරමුණේ උපදේශක රජිත් කීර්ති තෙන්නකෝන් පෙන්වා දෙන්නේ අවම ලංසුව තැබූ නෝබල් රිසෝසස් සමාගම වෙනුවට පස් වැනි ස්ථානයේ සිටි සමාගමට ගල් අඟුරු ආනයනයට ඉඩ සැලසීම ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කරමින් සිදුකොට ඇති බවයි.

යට සිටි ලංසුකරු උඩට

“පස්වැනි ස්ථානයේ සිටි ලංසුකරු වු ස්විස් සිංගප්පූර් සමාගම විසින් ප්‍රසම්පාදන කමිටුවට ලිපියක් ලබාදී ටෙන්ඩර් කොන්දේසි දෙකක් වෙනස් කරන ලෙස ඉල්ලා ඇත. ඒ අනුව ප්‍රසම්පාදන මණ්ඩලය විසින් අදාල ටෙන්ඩර් කොන්දේසි දෙක වෙනස් කර යළිත් ඇගයීම් වාර්තාවක් දෙන ලෙස තාක්ෂණික ඇගයීම් කමිටුවට දන්වා ඇත. ඒ අනුව එම කොන්දේසි දෙක වෙනස් කර තාක්ෂණික ඇගයීම් වාර්තාව තාක්ෂනික ඇගයීම් කමිටුවේ නිළධාරීන් විසින් ප්‍රසම්පාදන කමිටුව වෙත ලබාදී ඇත. ඒ මගින් 05 වැනි ස්ථානයේ සිටි ලංසුකරු 01 වැනි  ස්ථානයට පැමිණ ඇත,” යි දූෂණ විමර්ශන කොමිසම පවසා සිටී.

එය නීත්‍යනුකූල නැති බවට පසුගිය ජුනි මස 24 වන දින අගවිනිසුරු කේ.ශ්‍රීපවන් , ප්‍රියසාද් ඩෙප් සහ උපාලි අබේරත්න යන ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් තීන්දු කර තිබුනි.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන අගමැති  රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කැබිනට් මන්ඩලය සහ ලංකා ගල් අඟුරු සමාගම මෙන්ම රජයේ නිළධාරීන් ද ඇතුළු 75 දෙනකු  නෝබල් රිසෝසස් සමාගම විසින් පවරන ලද එම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුනි.

ranjith-siyambalapitiya

දැවැන්ත මුල්‍යමය පාඩුවක්

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවද නොතකා  කැබිනට් මණ්ඩලය ද නොමඟ යවමින් ස්විස් සිංගප්පූර් සමාගමෙන් වැඩි මුදලකට ගල් අඟුරු මිලදී ගැනීමෙන් ප්‍රසම්පාදන කමිටුව විසින් ශ්‍රී ලංකා රජයට දැවැන්ත මුල්‍යමය පාඩුවක් ද සිදුකර ඇතැයි දූෂණ විරෝධී පෙරමුණ චෝදනා කරයි.

කෙසේ වෙතත් විෂය භාර අමාත්‍ය වරයා පවසන පරිදි ටෙන්ඩරය සඳහා  අඩුම මිල ගණන් ඉදිරිපත් කර ඇත්තේ ගල් අඟුරු ආනයනය සඳහා අවසර ලත් සමාගමයි.

ස්විස් සිංගප්පූර් සමාගමේ ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකකට  ඇමරිකන් ඩොලර්  82.47 ගෙවන්නට සිදුවන අතර  ඇමරිකන් ඩොලර් 83.09ක් ලෙසින්  ඊලඟ ලංසුව ඉදිරිපත් කර ඇත්තේ  නෝබල් රිසෝසස් සමාගම බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමතිවරයා ජූලි මාසයේදී පාර්ලිමේන්තුවේ සඳහන් කළේ.

චුදිත ප්‍රසම්පාදන කමිටුව ලෙසින් කටයුතු කොට ඇත්තේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ ලේකම් බී.එම්.එස්.බටගොඩ, විදේශ රැකියා අමාත්‍යාංශ ලේකම් ජී.එස්.විතානගේ, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ අතිරේක ලේකම් එස්.ඒ.එන්.සරණතිස්ස, ලංකා විදුලිබල මණ්ඩල සාමාන්‍යාධිකාරී එම්.සී.වික්‍රමසේකර, භාණ්ඩාගාර අධ්‍යක්ෂ ජනරාල් ඒ.කේ.සෙනෙවිරත්න සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රධාන ගණකාධිකාරී පී.ආර්.එල් වසන්තයි.

දූෂණ විරෝධී පෙරමුණේ උපදේශක රජිත් කීර්ති තෙන්නකෝන් සමගින් එහි ලේකම් ජේ.ඒ වික්‍රමසිංහ සහ අධ්‍යක්ෂ අකලංක හෙට්ටිආරච්චි ද පැමිණිල්ල භාර දීමට එක්ව සිටියහ.

Related posts

Comments are closed.

Top