සෙබලුන් වෙනුවෙන් රජය කරන දේ ප්‍රමාණවත්: හමුදාපති | VIDEO

army kandy chrishanthe

ශ්‍රී ලංකා යුද හමුදාවේ සොල්දාදුවන්  සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකි පමණින් ආණ්ඩුව පියවර ගෙන ඇති බවට යුද හමුදා ප්‍රධානියා සහතික වෙයි.

හමුදා භටයන්ගේ සුබසාධනය, වෘත්තීය මට්ටම සහ හැකියාව දියුණු කිරීම සඳහා රජය ‘සුවිශේෂ වැඩපිළිවෙලක්’ දියත් කොට ඇති බව කී  යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා යුද හමුදා සමරුවක් වෙනුවෙන් දළදා මාලිගාවේ පැවති විශේෂ උත්සවයකට සහභාගිවෙමින් මාධ්‍යවේදීන් හමුවේ  ප්‍රකාශ කොට සිටියේ එය ප්‍රමාණවත් බවයි.

හමුදාපතිවරයා මහනුවරට ගොස් සිටියේ ශ්‍රී ලංකා යුද හමුදාවේ හැට හත් වැනි සංවත්සරය වෙනුවෙන් යුද හමුදා ධජ සඳහා සාම්ප්‍රදායික දළදා ආශිර්වාදය ලබා ගැනීම සඳහාය.

සේනාධිනායකයා ලෙස ජනාධීපතිවරයා ‘සියලුම රණවිරුවන් ගැන සුවිශේෂ අවධානයක් යොමු කොට,’ ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ‘කවදාවත් නැතිව රණවිරුවන් ගැන දේශපාලකයන් ආදරය දක්වතැ,’ යි මාධ්‍යවේදියකු පළ කළ අදහසකට ප්‍රතිචාර දක්වමිනි.

එලුග තමිල් රැලිය

සති අන්තයේ යාපනයේ පැවති බහුජන උද්ඝෝෂණ රැළියකදී උතුරේ දෙමළ නායකත්වය විසින් කරන ලද ඉල්ලීම් ගැන මාධ්‍යවේදියකු විසින් කරන ලද විමසීමකට පිළිතුරු දෙමින් යුද හමුදාපති වරයා කියා සිටියේ රටේ ‘භෞමික අඛන්ඩතාව, මහජනතාව හා දේපල රැකීමටත් උපරිම මට්ටමින් කටයුතු කරන’ බවයි.

උතුරේ හමුදාකරණය, සිංහලකරණය සහ බෞද්ධකරණය ට විරෝධය පෑම සහ දෙමළ ජනතා අයිතිය දිනාගැනීම වෙනුවෙන් මහ ඇමැති සීවී විග්නේශ්වරන් ප්‍රධානත්වයෙන් යාපනයේ පැවති ‘එලුග තමිල්’ උද්ඝෝෂණයේ ප්‍රධාන ඉල්ලීමක් වුයේ දෙමළ ජනතාවගේ පාරම්පරික ඉඩම් වලින් යුද හමුදාව ඉවත් කර ගැනීමයි.

යුද හමුදාව උතුරෙන් ඉවත් කරන්නේද නැද්ද යන්න පිළිබඳව හමුදාපතිවරයා පැහැදිලි පිළිතුරක් දුන්නේ නැත.

Related posts

Comments are closed.

Top