‘එලුග තමිල්’ ආණ්ඩුවේ සහ උතුරේ මහ ඇමැතිගේ හවුල් වැඩක්: මහින්ද |VIDEO

Mahinda journalists 2

යාපනයේ ‘දෙමළ පිබිදීම’ උද්ඝෝෂණය ආණ්ඩුවත්, උතුරේ මහ ඇමැති වරයාත් එක්ව සංවිධානය කරන ලද්දක් බව ප්‍රකාශ කරන හිටපු ජනාධිපතිවරයා දෙමළ ජනතාවගේ දේශපාලන ඉල්ලීම් ඉෂ්ට කිරීමට තමන්ගේ රජයත්, වත්මන් රජයත් අසමත් වූ බව පිළිගනී.

වර්තමාන මහ ආණ්ඩුවත්, උතුරේ පළාත් සභාවත් යන දෙකටම ජනතාවගේ ප්‍රශ්න විසඳන්නට නොහැකි වීම නිසා ‘ජාතිවාදය හරි මොනවා හරි එකක් කියලා මොනවා හරි අටවාගෙන’ දෙමළ පිබිදීම (එලුග තමිල්) රැළිය පවත්වන ලද බව මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ කොළඹ පදනම් කොටගත් දෙමළ මාධ්‍යවේදීන් වෙනුවෙන් රාජගිරියේ සිය කාර්යාලයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.

බඩු මිළ ඉහල යාම, ගොවියන්ට නිෂ්පාදන අලෙවි කරගත නොහැකි වීම ඇතුළු විසඳා ගත නොහැකි ප්‍රශ්න වසං කිරීමට ‘එලුග තමිල්’ පවත්වන ලද බව හිටපු ජනපති කියා සිටියේය.

“සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බැරිව වහගන්න තමයි මෙයාලා ප්‍රශ්නේ වෙන පැත්තකට හැරෙව්වේ. ඒක තමයි මෙයා කළේ මේ ආණ්ඩුවත් එක්ක හවුල් වෙලා.”

කෙසේ වෙතත්, උතුරේ හමුදාකරණය, සිංහලකරණය සහ බෞද්ධකරණය ට විරෝධය පෑම මහ ඇමැති සී වී විග්නේස්වරන් ගේ ප්‍රධානත්වයෙන් දෙමළ ජනතා සභාව පැවැත්වූ රැළියේ ප්‍රධාන අරමුණ ලෙස දක්වා තිබුනි.

ශ්‍රී ලංකා නාවික හමුදාවට දියඹේ යාහැකි දුර සීමා කිරීම නිසා වෙනත් ධීවරයන් උතුරේ ධීවර සම්පත කොල්ල කෑම එදිනෙදා ප්‍රශ්නයක් ලෙස හිටපු ජනාධිපති විසින් ප්‍රකාශ කෙරුනත්, එලුග තමිල් රැළියේ ධීවර ඉල්ලීම වුයේ ‘අපේ මුහුදට දිනපතා බලෙන් පැමිණෙන දකුණේ ධීවරයන් පාලනය කරනු’ යන්නයි.

විග්නේස්වරන්

තමන්ගේ නායකත්වයෙන් යුත් ආණ්ඩු විරෝධී පිළේ නායකයන් මෙන්ම සිංහල බෞද්ධ දැඩි මතධාරීන්ගෙන්ද විග්නේස්වරන් මහ ඇමැති වරයා ජාතිවාදියකු බවට කෙරෙන චෝදනා හිටපු ජනපති දෙමළ මාධ්‍යවේදීන් හමුවේ ප්‍රතික්ෂේප කළේය.

“මම දන්න මහ ඇමැතිතුමා නම් මම හිතන්නේ නෑ ජාතිවාදියා කියලා. හැබැයි එයා කරන්නේ දේශපාලනය, බොහොම පැහැදිලිව. ඔහුට ප්‍රතිඵල පෙන්වන්න බැහැ. මේ ආණ්ඩුවටත් ප්‍රතිඵල පෙන්වන්න බැහැ,”

කෙසේ වෙතත්, තමන් බලයේ සිටියේ නම් ‘එලුග තමිල්’ උද්ඝෝෂණ රැලිය පැවැත්වීමට තමන් ඉඩ නොදෙන බව ඔහු කියා සිටියේය.

ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ දේශපාලකයන් ගණනාවක්ම ‘එලුග තමිල්’ උද්ඝෝෂණය හෙලා දැක තිබුනු අතර, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පවසා තිබුනේ එම ඉල්ලීම් වලට ඇහුම් කන් දීමට හෝ රජය සුදානම් නැති බවයි.

Eluga Thamil demands sinhala

යුද අපරාධ පරීක්ෂණ

යුද්ධයේ සිදුවූ අපරාධ යුද අපරාධ යනුවෙන් හඳුන්වන්නට එපා යයි ඉල්ලා සිටි මහින්ද රාජපක්ෂ, කෙසේ වෙතත්, ‘යම් යම් සිද්ධි’ සිදුවූ බව පිළිගත්තේය.

‘සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූවාට ප්‍රශ්නයක් නෑ,’ යි කියා සිටියේය.

එම පරීක්ෂණ දේශීය වශයෙන් පැවැත්වීම කෙරේ විරෝධයක් නොදැක්වූ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ විදේශීය විනිසුරන් ගෙන්වන්නේදැයි තමන් නොදන්නා බවයි.

සාමාන්‍ය වැසියන් අඩුම වශයෙන් හතලිස් දහසක් වත් මරා දැමුනු  බවට එක්සත් ජාතීන් විසින් ගණන් බලා ඇති යුද්ධය සම්බන්ධයෙන් රාජපක්ෂ පාලනය දිගටම දැරූ ස්ථාවරය වූයේ එය ‘මානුෂික මෙහෙයුමක්’ බවයි.

චෝදනා නැගෙන යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම දේශීය විනිශ්චයකාරවරුන් විසින් සිදුකෙරෙනු ඇති බව ජනාධිපති වරයාත්, අගමැති වරයාත් කිහිප වර කියා තිබේ.

එමෙන්ම රජය පවසන්නේද ඇතැම් අය අතින් යුද්ධයේදී වැරදි සිදුවී තිබිය හැකි වුවත්, ශ්‍රී ලංකාවේ සන්නද්ධ සේනා යුද අපරාධ කර නැති බවයි.

එසේ වෙතත්, විදෙස් විනිසුරුවන් අනිවාර්යයෙන්ම ගෙන්වන බවට හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් දේශපාලන බලවේග විසින් චෝදනා කරන බව මාධ්‍යවේදියකු විසින් පෙන්වා දුන් අවස්ථාවේ මහාචාර්ය ජී එල් පීරිස් ගේ මගපෙන්වීම අනුව මහින්ද රාජපක්ෂ කියා සිටියේ ජිනීවා ගිවිසුමෙන් ශ්‍රී ලංකාවේ රජය ඊට එකඟ වී සිටින බවයි.

Jaffna-xmas-2015-IDP-camp

හමුදා කඳවුරු ඉවත් කිරීම

උතුරෙන් යුද හමුදාව ඉවත් කර ඇති බවට තමන් ප්‍රමුඛ දකුණේ සිංහල බලවේග ප්‍රසිද්ධියේ කරන ප්‍රකාශ තහවුරු කිරීමට හිටපු ජනාධිපතිවරයා ඉදිරිපත් වුයේ නැත.

ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු විමසු කල යුද කඳවුරු හෝ අනාථ කඳවුරු හෝ ඉවත් කිරීම සම්බන්ධ දෙමළ ජනතාවගේ ඉල්ලීම් වෙනුවෙන් වර්තමාන රජය කිසිදු පියවරක් ගෙන නැති බවට හිටපු ජනාධිපති වරයා චෝදනා කළේය.

“මේ ආණ්ඩුව දෙමළ ජනතාව ගැන හිතන්නේ නෑ. ඒ අය කරන්නේ සුමන්දිරන් සහ සම්බන්ධන් සන්තෝස කිරීම මිස දෙමල ජනතාවට යමක් කිරීම නෙවෙයි,” යන්න ඔහුගේ චෝදනාව විය..

හමුදාව කොයිතාක් දුරට උතුරෙන් ඉවත් කර ඇතිදැයි තමන් නොදන්නා බව පැවසූ ඔහු දෙමළ මාධ්‍යවේදීන්ට අභියෝග කළේ එකදු අනාථ කඳවුරක් හෝ වත්මන් පාලනය විසින් වසා ඇතිදැයි පෙන්වා දෙන ලෙසයි.

“මට කියන්න එක දෙමළ අයිඩීපී කෑම්ප් එකක් වත් වහලද? එකක් මට කියන්න, මෙන්න මෙතන හිටිය අනාථයෝ ටික පදිංචි කරලා මේ කෑම්ප් එක වැහුවා කියලා.” ඔහු විමසීය.

Mahinda journalists 3

වැරදුනු තැන

යුද්ධයෙන් පසු දෙමළ ජනතාවගේ ආර්ථිකය හා යටිතල පහසුකම් දියුණු කිරීම වෙනුවෙන් තමන් විශාල සේවයක් කළ බව හිටපු ජනපති මතය විය.

‘ඉස්පිරිතාල, කන්තෝරු, ඉස්කෝල, විද්‍යාගාර, මහාමාර්ග, දුම්රිය මාර්ග’ තමන් විසින් උතුරේ දෙමළ ජනතාවට ලබා දෙන ලද බව කියා සිටි ඔහු
“බඩගින්නේ බණ කියලා වැඩක් නෑ,” යි පැවසීය.

එසේ තිබියදීත් තමන් උතුරෙන් පැරදුනේ දෙමළ ජනතාවගේ දේශපාලන ඉල්ලීම් ඉටු කිරීමට පියවර නොගත් නිසා බව දෙමළ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම හමුවේ හිටපු ජනාධිපතිවරයා පිළිගත්තේය.

“අපේ වැරැද්ද ඒ අය එක්ක දේශපාලන වශයෙන් සංවාදයකට නොයාමයි.”

Lal Wijenayake Malwathu

‘රට බෙදන’ ව්‍යවස්ථාව

දෙමසකට ඉහතදී මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති පාද යාත්‍රාවෙන් යෝජිත ව්‍යවස්ථාව රට බෙදන්නක් බවට චෝදනා කරමින් ප්‍රධාන විරෝධතාවක් එල්ල වුවත් එහි අඩංගු වන්නේ කුමක්දැයි තීන්දු වී නැති බව හිටපු ජනාධිපතිවරයා පැවසීය.

ව්‍යවස්ථාව සඳහා මහජන අදහස් විමසූ කමිටුව මේ වනවිට තම නිර්දේශ පාර්ලිමේන්තුවට භාර දී තිබේ. අනාගත ව්‍යවස්ථාවක් කෙටුම්පත් කෙරෙනු ඇත්තේ පාර්ලිමේන්තුව විසිනි. එය රටේ ව්‍යවස්ථාව බවට පත්වන්නේ 2/3 පාර්ලිමේන්තු ඡන්දයකින්ද ජනමත විචාරණයකින්ද සම්මත වීමෙන් අනතුරුවයි.

එසේ තිබියදී දෙමළ ජනතාව සම්බන්ධයෙන් දෙන විසඳුමකට විරෝධය පාන්නේදැයි කොළඹදී දෙමළ මාධ්‍යවේදීන් විසින් විමසන ලද අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා, ව්‍යවස්ථා විශාරද ජී ඇල් පීරිස්ද පසෙකින් තබාගෙන කියා සිටියේ ව්‍යවස්ථාවේ කවර විසඳුමක් අඩංගු වේදැයි ‘තවමත් නොදන්නා’ බවයි.

හිටපු ජනාධිපතිවරයා පවසන්නේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ප්‍රමාණවත් බවයි.

ව්‍යවස්ථාව සඳහා මහජන අදහස් විමසූ කමිටු වාර්තාවට එකඟ විය නොහැකි නිසා තමන්ගේ නායකත්වය පිළිගන්නා දේශපාලකයන්ගෙන් විරෝධතා එල්ල වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩි දුරටත් පැවසීය.

ව්‍යවස්ථා වෙනසකදී පෙඩරල් පාලන ක්‍රමයක් ඇති කළ යුතු බවට එලුග තමිල් රැළිය සංවිධානය කළ දෙමළ ජනතා සභාව සහ දෙමළ ජාතික සන්ධානය ඇතුලු පක්ෂ සහ සංවිධාන යෝජනා ඉදිරිපත් කොට තිබුණත්  අධිනීතිඥ ලාල් විජේනායක ගේ ප්‍රධනත්වයෙන් යුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කමිටුව විසින් පාර්ලිමේන්තුවට ඒ සම්බන්ධයෙන් කිසිදු නිර්දේශයක් ඉදිරිපත් කොට නැත.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කමිටුව හමුවේ කිසිදු යෝජනාවක් තැබීමට මහින්ද රාජපක්ෂ පැමිණියේද නැත.

Related posts

Comments are closed.

Top