ශ්‍රී ලංකාව සමග එළැඹි ගිවිසුම ගැන විග්නේස්වරන් ස්විට්සර්ලන්තයට අනතුරු අඟවයි | VIDEO

 

Vigneswaran Sommaruga

දේශපාලන රැකවල් පතන්නන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා ස්විට්සර්ලන්තය අතර ඇතිකරගත් නවතම ගිවිසුම පිළිබඳව උතුරේ මහ ඇමැතිවරයා අනතුරු ඇඟවීමක් කර තිබේ.

දිවයිනට පැමිණ සිටින ස්විස් අධිකරණ ඇමැතිනී සිමොනිටා සොමරුගා සහ ශ්‍රී ලංකාවේ අහ්‍යන්තර කටයුතු අමාත්‍ය එස් බී නාවින්න විසින් කොළඹදී අත්සන් කරන ලද ගිවිසුමක් අනුව ස්විට්සර්ලන්තයේ ඉල්ලූ දේශපාලන රැකවරණ ලබාගැනීමට නොහැකි වූ ලාංකිකයන් එරටින් පිටුවහල් කරනු ඇත.

මහ ඇමැති සීවී විග්නේස්වරන් පවසන්නේ රටින් පලා ගොස් පිටරට දේශපාලන රැකවල් පතා සිටින්නන් හරවා එවීමට තරම් ශ්‍රී ලංකාව ආරක්ෂකාරී නොවන බවයි.

ජනවාරියෙන් පසු වද හිංසා

මහ ඇමැතිවරයා යාපනයේදී ස්විස් අධිකරණ ඇමැතිනිය හමුවූ අවස්ථාවේ ඊට උදාහරණ වශයෙන් දක්වා සිටියේ ජනවාරි 8  සිදුවූ ආණ්ඩු මාරුවෙන් පසුවත් අත් අඩංගුවේ වද හිංසා පැමිණවීම් පිළිබඳව අඩුම වශයෙන් දාහත් වතාවක් වාර්තා වී ඇති බවයි.

රටේ බලපවත්වන නීතිය පෙරළා පැමිණෙන්නන්ට ආරක්ෂාව සලසන්නේ නැති බව රාජ්‍යතාන්ත්‍රික හමුවෙන් අනතුරුව ඔහු මාධ්‍යවේදීන් හා ප්‍රකාශ කළේය.

“හැමදේම හරිගිහින් කියා මට කියන්න බෑ. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඉවත් කරන බවට ආණ්ඩුව පොරොන්දු වෙලා තියෙනවා. ඒත් ඒක කරලා නෑ.”

කෙසේවෙතත්, රටේ වාතාවරණය ‘පැවතියාට වඩා යහපත්’ බව ඔහුගෙන් පලවිය.

“ප්‍රජාතන්ත්‍රවාදය නැවතත් පැමිණ තිබෙනවා. සාකච්ඡාවට තිබෙන ඉඩකඩ වැඩියි. ඒත්, මේ අය ආපහු එන්න නම් ඔවුන්ගේ රැකවරණය සඳහා තහවුරු කළ යුතු දේ තියනවා,” මහ ඇමැති විග්නේස්වරන් ප්‍රකාශ කළේ යුද්ධයට සම්බන්ධ තරුණයන් පසුපස හඹා යාම තවමත් සිදු කෙරෙන බව පෙන්වා දුන්නේ විදේශීය මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මස් රාත්තල ඉල්ලීම

පවතින ආණ්ඩුව බලයට ගෙන ඒමට තමන්ද දායක වුනු බව පෙන්වා දුන් මහ ඇමැති වරයා “දෙමළ සහ මුස්ලිම් අය නොවන්නට මේ ආණ්ඩුව පත් නොවන්නට ඉඩ තිබුනු’ බව අවධාරණය කළේය.

බලයේ සිටින ආණ්ඩුව තමන්ට ණයගැති වුවත්, ‘මස් රාත්තලම’ නොඉල්ලන දෙමළ ජනතාවගේ අභිලාශය රටේ සියලුම ජනතාව හා සමාන අයිතිවාසිකම් සහිතව ජීවත් වීම බව ඔහු කියා සිටියේය.

Navinna Sommaruda

ස්විස්-ලංකා ගිවිසුම අත්සන් කෙරුනේ ආණ්ඩු මාරුවක් සිදු වුවත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂක ආයතන විසින් අත් අඩංගුවේදී වද හිංසා පමුනුවනු ලබන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය මැයි මාසයේදී ප්‍රකාශ කර තිබියදීය.

ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) සහ වධහිංසාවෙන් නිදහස (Freedom from Torture) ඇතුළු සංවිධාන ඒ පිලිබඳ විශේෂඥයන්ගේ තහවුරු කිරීම් සහිත  සාක්ෂි ඡායාරූප සහිතව කිහිපවර එළි දක්වමින් පවසා තිබුනේ විදේශගත ශ්‍රී ලාංකික දෙමළ ජනතාව පෙරළා සියරට බලා යාම අනතුරුදායක බවයි.

වධ හිංසා පැමිණවීම “ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ පද්ධතියේම කොටසක් බවට පත්වී ඇති බව,” ආසියානු මානව හිම්කම් කොමිසම පවසයි.

ලාංකිකයන් 50,000ක් පමණ වෙසෙන ස්විට්සර්ලන්තයේ ආණ්ඩුව විශ්වාස කරන පරිදි ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිලිබඳ තත්වය යහපත් අතට හැරී ඇත.

එරට ආගමන විගමන කාර්යාංශය පවසන පරිදි මැයි මාසය අග වන විට දේශපාලන රැකවල් පතන ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබී තිබුනු අයදුම් පත් සංඛ්‍යාව 1300 ඉක්මවයි.

 

 

Related posts

Comments are closed.

Top