වරාය නගරය ගොඩ නගන්න චීනයෙන් ඉන්දියාවට ඇරියුම්

Yi-Xianliang-Chinese Ambassador

ශ්‍රී ලංකාවේ චීන තානාපති යි සියන්ලියන්

ඉන්දු-චීන ආර්ථික සම්බන්ධතා නව මුහුණුවරකට යොමු කරමින් චීන රජය මඟින් ක්‍රියාත්මක කරන, ශ්‍රී ලංකාවේ වරාය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා එක්වන ලෙස චීනය ඉන්දියාවට ආරාධනා කර සිටියි.

එසේම පලදායි කොටස්කරුවන් තම රජය අපේක්ෂා කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කොට තිබේ.

ශ්‍රී ලංකාවේ වාණිජ මණ්ඩලය සංවිධානය කරනු ලැබූ සැසිවාරයක් අමතමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති යි සියන්ලියන් ප්‍රකාශ කොට ඇත්තේ අදාල ව්‍යාපෘතිය සඳහා ඉන්දියාවේ සහයෝගය සාදරයෙන් පිළිගන්නා බවයි.

” ශ්‍රී ලංකාව සහ චීනය අතරට අපි තුන්වැනි පාර්ශවයක් සාදරයෙන් පිලිගන්නවා. අපි ඉන්දියාවට හෝ වෙන රටකට විරුද්ධ වන්නේ නැහැ. චීනය සහ ඉන්දියාව අතර බොහෝ වෙළෙඳ සම්බන්ධතා තියෙනවා,” යයි චීන තානාපතිවරයා ප්‍රකාශ කර තිබේ.

මෙම ආරාධනය සම්බන්ධයෙන් ක්ෂණිකව ප්‍රතිචාර නොදැක්වීමට සුපරික්ෂාකාරී වී ඇති ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව වැඩි තොරතුරක් නොදන්නා බවයි.

කෙසේ වෙතත් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාල ප්‍රකාශකයෙක් සඳහන් කළේ ඉන්දීය රජය ශ්‍රී ලංකාවේ ආයෝජනයන් සඳහා ඉන්දීය ව්‍යාපාරිකයන් උනන්දු කරන බවයි.

“දැනටමත් ඉන්දීය ව්‍යාපාරිකයන් සැලකිය යුතු ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ ආයෝජන සිදුකර තිබෙනවා. එවැනි අවස්ථා ඇත්නම් ඉන්දීය සමාගම් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට ඉදිරිපත් වේවි, ” යැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ මාධ්‍ය , තොරතුරු සහ සංස්කෘතික අංශයේ පළමු ලේකම් ඊශා ශ්‍රී වස්ටවා ‘ඒෂියන් ටයිම්ස් ‘ වෙබ් අඩවියට ප්‍රකාශ කර තිබේ.

Related posts

Comments are closed.

Top