‘සත්විරු සංහිඳ’ දෙසුමින් තමන් අනුමත කිරීම ගැන ගෝඨා ගෙන් ජනපතිට පැසසුම් | VIDEO

Gota and Sirisena

තමන් ඇතුළු යුද ප්‍රධානීන්ට එරෙහිව කෙරෙන දුෂණ වංචා පරීක්ෂණ දේශපාලන න්‍යාය පත්‍රයකින් මෙහෙයැවෙන බවට චෝදනා කරමින් ජනාධිපතිවරයා රාජ්‍ය ආයතන කිහිපයකට එරෙහිව කළ ප්‍රහාරය හිටපු ආරක්ෂක ලේකම් වරයාගේ ප්‍රශංසාවට ලක්වී තිබේ.

මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය(FCID), අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ අල්ලස් හා දුෂණ කොමිසම විසින් සිදු කෙරෙන පරීක්ෂණ දේශපාලන න්‍යාය පත්‍රයක් අනුව සිදුවන බව තමන් ඇතුළු රාජපක්ෂ පවූලේ  සාමාජිකයන් විසින් දිගටම පෙන්වා දී තිබෙන බව ගෝඨාභය රාජපක්ෂ BBC ය හා පවසා ඇත.

“අවුරුදු දෙකක් තිස්සේ පැහැදිලිවම අපි පෙන්නුම් කරලා දුන්නා මේ විවිධ ආයතන මගින් කරන පරීක්ෂණ දේශපාලන න්‍යාය පත්‍රයක් මතම කරලා තියනවා කියලා. දැන් ජනාධිපතිතුමා ම ඒක පැහැදිලි කර දෙනවා ඒ ආකාරයෙන්ම,” යි කී හිටපු ආරක්ෂක ලේකම් වරයා ජනපති ප්‍රකාශය ‘රණවිරුවන් ඉදිරියේ’ ප්‍රකාශ කිරීම ගැන සතුට පල කර තිබුනි.

දුෂණ වංචා චෝදනා නැගුනු හිටපු ආරක්ෂක ලේකම් වරයා සහ නාවික හමුදාපති වරුන් තිදෙනකු සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ ජනාධිපතිවරයා ‘පිළිකුලෙන් හා අප්‍රසාදයෙන්’ හෙලා දැක තිබුනි.

අධිකරණයට ඇඟිලි ගැසීම

“මම සම්පුර්ණයෙන් මගේ අප්‍රසාදය පළ කරනවා යුද්ධය කරපු නාවික හමුදාපතිවරු තුන් දෙනෙක් උසාවියට දක්කාගෙන යාම පිළිබඳව,” යි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බදාදා (12) කෝපයෙන් ප්‍රකාශ කළේ හමුදා සාමාජිකයන්ට ඉඩම් හා නිවාස ඔප්පු බෙදා දෙන ‘සත්විරු සංහිඳ’ උත්සවය අමතමිනි.

නාවික හමුදාපති වරුන් දෙදෙනකුට හා මේජර් ජනරාල්වරුන් දෙදෙනකුට එරෙහිව දුෂණ වංචා චෝදනා යටතේ නඩු පවරා ඇති බව ගෝඨාභය රාජපක්ෂ සිහිපත් කර දුන්නේය.

ස්වාධීන කොමිසම් සභා වලට හෝ අධිකරණයට හෝ ඇඟිලි ගැසීමට තමන් අපේක්ෂා නොකරන බව කියා සිටියත්, ප්‍රගීත් එක්නැලිගොඩ සහ ලසන්ත වික්‍රමතුංගට එරෙහි අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හමුදා බුද්ධි අංශ නිලධාරීන් සම්බන්ධයෙන් මැදිහත් වූ බව ජනාධිපතිවරයා තම දේශනයේදී හෙළි කොට සිටියේය.

“ඇතැම් නඩු උසාවි වල විභාග වෙන, හමුදාවේ අය අත් අඩංගුවට අරගෙන තිබෙන ඒවා, මම ඒ නිලධාරීන්ට කිහිප වර කතා කර තිබෙනවා,” යි ප්‍රකාශ කළ ජනාධිපතිවරයා කියා සිටියේ චුදිත හමුදා නිලධාරීන්ට නඩු පැවරීම හෝ නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස එම අංශ භාර ප්‍රධානීන්ට තමන් උපදෙස් දුන් බවයි.

ඇවන්ට්ගාර්ඩ් අවි ගබඩා

පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යාම සඳහා පුද්ගලික සමාගමකට අනුමැතිය දී රජයට පාඩු සිදු කිරීමේ  චෝදනා යටතේ හිටපු ආරක්ෂක ලේකම්වරයාට නඩු පවරා තිබේ.

2012 සිට 2015 වසර දක්වා තුන් වසරක් ඇවන්ගාඩ් මැරිටයිම් සේවා සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් රජයට රුපියල් බිලියන 11.4 කට වැඩි පාඩුවක් සිදු කර ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දන්වා ඇත.

ඇවන්ට් ගාඩ් උපදේශකයන් වශයෙන් කටයුතු කළ හිටපු නාවික හමුදාපතිවරුන් වන සෝමතිලක දිසානායක, ජයනාත් කොළඹගේ සහ ජයන්ත පෙරේරා අද්මිරාල්වරුන්ද, නිශ්ශංක සේනාධිපති, පාලිත ප්‍රනාන්දු සහ කේබී එගොඩවෙල යන හමුදා මේජර් ජනරාල් වරුන් සෙසු විත්තිකරුවන්ය.

අහුමුලු වල තීරණ

දුෂණ වංචා පරීක්ෂණ පවත්වන සහ නීතිමය පියවර ගන්නා රාජ්‍ය නිලධාරීන් ජනාධිපතිවරයා විසින් හඳුන්වනු ලැබුවේ ‘අහුමුලු වල තීරණ ගන්නා’ අය ලෙසිනි

“රාජ්‍යයක් පවත්වාගෙන යාම, ජාතික ආරක්ෂාව, හමුදා කළමනාකරණය, හමුදා පරිපාලනය මේවා පිලිබඳ අවබෝධයක් නැති මිනිස්සු, මේවා පිලිබඳ හරියට කල්පනා කරන්නේ නැති ඇය, ඒවා පිලිබඳ කල්පනා කිරීමේ හැකියාවක් නැති මිනිස්සු,  අහුමුලු වල ඉඳලා නොයෙකුත් වැරදි විදියට ක්‍රියා කරන බව පේනවා.”

පරීක්ෂණ මගින් හමුදාව දුර්වල කිරීමට ඉඩ නොදෙන බවට ප්‍රතිඥාවක් දුන් ජනාධිපතිවරයා දේශපාලන න්‍යාය පත්‍ර අනුව ක්‍රියා කරන බවට තමන් හැඳින්වූ ආයතන වලට එරෙහිව ‘විවෘතව ක්‍රියා මාර්ග ගන්න සිද්ධ වන’ බවට අනතුරු ඇඟවීය.

ජනාධිපතිවරයා විසින් එල්ල කරන ලද ප්‍රහාරය ඉත සිතින් අනුමත කළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ‘සත්‍යය අවබෝධ වීම’ ගැන සතුට පල කර සිටියේය.

Related posts

Comments are closed.

Top