උතුරේ කාන්තාවන්ට ණය දෙන බැංකු වසා දමන ලෙස උද්ඝෝෂණයක් | VIDEO

Vavunia loan demo

යුද්ධයෙන් පිරිමින් අහිමිවී පීඩාවට පත් ගෘහ මුලික කාන්තාවන් ණය උගුලක හිරකොට උතුරේ ජනතාව විනාශ මුඛයට ඇද දැමීමේ සැලසුමක් ඇතැයි චෝදනා කරමින්  වවුනියාවේ උද්ඝෝෂණයක් දියත් වී තිබේ.

කාන්තාවන් බහුතරයක සහභාගිත්වයෙන් පැවැත්වුණු උද්ඝෝෂණය ප්‍රධාන ලෙස බලකොට සිටියේ ක්ෂුද්‍ර ණය වාණිජ  බැංකු වසා දමන ලෙසයි.

විවිධ ස්වයං රැකියා හඳුන්වා දෙමින් කාන්තාවන් ඉලක්ක කොට විශාල පොලියකට දෙන ණය ගෙවා ගත නොහැකි අයගේ නිවෙස් වලට පොලීසිය කැටුව බැංකුකරුවන් කඩා වැදීම නිසා එදිනෙදා ජීවිතය පවා පවත්වාගෙන යා නොහැකි තත්වයක් උදා වී ඇති බව උද්ඝෝෂකයෝ පවසති.

‘ප්‍රජාවක් විනාශ කිරීමේ අරමුණින් කාන්තාවන් ඉලක්ක කිරීම’ බැංකු කරුවන්ගේ අරමුණ වී ඇති බව උද්ඝෝෂකයන්ගේ චෝදනාවකි.

2014 වසරේ සංඛ්‍යාලේඛන අනුව දේශීය නිෂ්පාදනයෙන් 42% කට හිමිකම් කී බස්නාහිර පලාතට වඩා 4% ක් පමණක් නිෂ්පාදනය කළ උතුරේ ණය දෙන බැංකු පවත්වාගෙන යාම ඊට උදාහරණයක් ලෙසින් ඔවුහු දක්වා සිටිති.

තුවක්කු සහ ණය

වවුනියාවේ උද්ඝෝෂණය කැඳවූ සමාජ දැනුවත්භාවය සඳහා වන ජනතා සංවිධානය පවසන්නේ ආර්ථික පීඩාවෙන් පෙලෙන කාන්තාවන් සොයා ගම් වදින බැංකු කරුවන් රැවටිල්ලෙන් ණය ගැනීමට පොළඹවා ගන්නා බවයි.

ඔවුන් පවසන පරිදි මින් ඇතැම් ණය රුපියල් දෙලක්ෂයක් තරම් විශාලය.

ගත් මුදලට පොලී ගණනය කෙරෙන ආකාරය පිලිබඳ අවබෝධයක් නොමැති කමින් ණය බරෙහි ගිලී සිටින ඇතැම් කාන්තාවන්  තම ගේදොර පවා අහිමි වී යාමේ අවදානමට මුහුණ පා සිටින බව ඔවුහු පවසති.

දෙමළ ජනතාව යුද්ධයෙන් අනතුරුව නැවත පදිංචියට ගිය මුල් යුගයේ ග්‍රාමීය මට්ටමේ බැංකු වලින් ණය දීම ආරම්භ කළත් පසු කලක ඒ වෙනුවට පෙරට පැමිණ ඇත්තේ ඉහළ පොලියට ණය දෙන සහ ලීසිං ක‍්‍රමයට භාණ්ඩ ලබා දෙන වාණිජ බැංකු ය.

‘යුද්ධ කාලේ තුවක්කු, යහපාලන කාලේ ණය’ ‘ක්ෂුද්‍ර ණය මරු වැලකි’ ‘ණය දී හාමත් කරනු එපා’ ඇතුළු සටන් පාඨ පුවරු වවුනියාව නගර මධ්‍යයේ පැවති ණය කාරියන්ගේ උද්ඝෝෂණයේ ප්‍රදර්ශනය කෙරිනි.

ග්‍රාමීය බැංකු 

සැමියන්, පියවරුන්, සොහොයුරන් සහ පුතුන් යුද්ධය නිසා අහිමිවූ උතුරේ කාන්තාවන්ගේ ආර්ථික අභිවෘද්ධිය සැබවින්ම අපේක්ෂා කරන්නේ නම් රජය කළ යුත්තේ ඉහළ පොලී අනුපාත වලට මහා පරිමාණ ණය දෙන මුල්‍ය සමාගම් වසා දමා සුලු පොලියට කුඩා පරිමාණ ණය ලබාදෙන ග්‍රාමීය සහ සමුපකාර බැංකු ප්‍රවර්ධනය කළ යුතු බව උද්ඝෝෂකයන්ගේ යෝජනාවයි.

යුද්ධයෙන් පසු උතුරු නැගෙනහිර ජීවත් වන වැන්දඹු හා හුදෙකලා කාන්තාවන්ගේ සංඛ්‍යාව අනුදහසක් වෙතැයි ගණන් බලා තිබේ.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල පවසන පරිදි යාපනය දිස්ත්‍රික්කයේ පමණක් තිබෙන කාන්තා ගෘහ මූලික පවුල් සංඛ්‍යාව හතලිස් දහසකි.

 

Related posts

Comments are closed.

Top