ද්විත්ව සිසු ඝාතන විරෝධී උතුරේ හර්තාල් සාර්ථකයි | VIDEO

Jaffna Hartal bus stand

යාපනය සරසවියේ උපාධි අපේක්ෂකයන් දෙදෙනකු පොලිස් වෙඩි පහරින් මරාදැමීමට එරෙහිව උතුරේ දියත් කෙරුනු එක් දින හර්තාලය සාර්ථකව පවත්වා තිබේ.

රජයේ ආයතන සහ කඩ සාප්පු වසා දමා තිබුනු අතර බස් රථ ධාවනය කෙරුනේ නැත.

යාපනය, කිලිනොච්චිය, මන්නාරම, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්ක පහේම දෙමළ ජනතාවට  අමතරව මුස්ලිම් ව්‍යාපාරිකයන්ද කඩ සාප්පු වසා දමා හර්තාලය සඳහා සහාය පලකොට තිබෙනු දක්නට ලැබුනු බව ගගන වාර්තාකරුවෝ පවසති.

යාපනය නගරයේ සන්නද්ධ පොලිස් ආරක්ෂාව තර කොට තිබෙනු දක්නට ලැබුනි.

යතුරු පැදියක නැගී යමින් සිටි විජයරාජා සුලක්ෂන් සහ නඩරාජා ගජන් සරසවි සිසුන් දෙදෙනා බ්‍රහස්පතින්දා පොලිස් වෙඩි පහරින් ඝාතනය කිරීමට විරෝධය පානු පිණිස හර්තාලය කැඳවා තිබුනේ දෙමළ දේශපාලන පක්ෂ සහ බහුජන සංවිධාන විසිනි.

ජාතික පොලිස් කොමිසමේ විමර්ශන අංශයේ අතිරේක අධ්‍යක්ෂ ආනන්ද විජේසූරියගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කණ්ඩායමක් යාපනයට ළඟාවී සිටින අතර රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවද පරීක්ෂණ අරඹා තිබේ.

පොලිස් විනය පරීක්ෂණ

අණ නොතකා පලා යන රියකට වෙඩි තැබීමට පොලිසියට බලයක් නොමැති බවට පොලිස් කොමිසමේ ලේකම්වරයා විසින් කරන ලද ප්‍රකාශයට හරස්ව යමින් පොලිස්පතිවරයා කියා සිටින්නේ පොලිසිය ‘අවශ්‍ය තැනට අවශ්‍ය බලය අවම බලය’ යොදා ඇති බවයි.

කෙසේ වෙතත්, සිසුන් දෙදෙනාට වෙඩි තැබීම දැනුම් නොදීමෙන් පොලිස් නිලධාරීන් අතින් ‘අතපසුවීමක්’ සිදුවී ඇති බවයි පොලිස්පති පූජිත් ජයසුන්දර 24 සඳුදා අනුරාධපුරයේදී මාධ්‍යවේදීන් අමතා ප්‍රකාශ කළේ.

රාජකාරියේ නිරතව සිටියදී වෙඩි තැබීම වාර්තා නොකර සිටීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බව ද පොලිස්පති ජයසුන්දර කියා සිටියේය.

Awaa leaflet

කඩු ගෑමේ වගකීම බාරගනී

මේ අතර ජාතික බුද්ධි කාර්යාංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනකු යාපනයේ චුන්නාකම් නගරයේදී කපා කොටා තුවාල කිරීමේ වගකීම භාරගන්නා බව ‘ආවා’ නම් සංවිධානයක් විසින් ප්‍රකාශයට පත් කොට තිබේ.

‘අශුද්ධයන් අස් කරමු’ යනුවෙන් සඳහන් පත්‍රිකා එම සංවිධානය විසින් නගරයේ තැන තැන ප්‍රදර්ශනය කර තිබුනු අතර සරසවි සිසුන් දෙදෙනාට වෙඩි තැබීමත් එමගින් හෙලා දැක තිබුනි.

‘යාපනය සංස්කෘතිය සේම එහි අංගයක් වන සරසවි සිසුන්ද තමන්ට අගනා’ බව පත්‍රිකාවේ සඳහන් වී ඇත.

අංක තහඩු නොමැති යතුරුපැදිවලින් කප්පම් ගැනීම සඳහා පැමිණි මුහුණ ආවරණය කර ගත් පිරිසක් සහ සාප්පු හිමිකරුවකු අතර ගැටුමක් සමථයකට පත් කිරීමට පැමිනි පොලිස් නිලධාරීන් ප්‍රහාරයට ලක්‌වූ බව  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශයට කළේය.

සති අන්තයේ සිදුවූ එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ පොලිස් සැරයන් පී එස් නවරත්න සහ කොස්තාපල් නිමල් බණ්ඩාර රෝහල් ගත කරන ලද අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට විශේෂ පොලිස් කණ්ඩායම් පහක් උතුරට යවා ඇති බව පොලිසිය විසින් නිවේදනය කර තිබේ.

මෙම ප්‍රහාරයට වගකිව යුතු පිරිස්, යතුරු පැදි හා පණිවිඩ හුවමාරු කළ දුරකතන අංකද සොයාගෙන ඇති බව කී පොලිස්පතිවරයා ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බව සඳහන් කළේය.

Related posts

Comments are closed.

Top