අගමැති ඉල්ලා අස්විය යුතුයි නැත්නම් විශ්වාසභංගයක් -උදය ගම්මන්පිල

udaya gammanpila-COPE

ආන්දෝලනාත්මක මහා බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් වගකීම බාර ගනිමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස්විය යුතු බවත් එසේ නොකළහොත් විශ්වාසභංගයක් ගෙන එන බව පිවිතුරු හෙළඋරුමයේ ප්‍රධාන ලේකම්,පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

එසේම මෙම වංචාවේ වැරදිකරුවන්ට දඬුවම් ලබාදීමට ජනාධිපතිවරයා පෞද්ගලිකව මැදිහත්විය යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.

අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති කමට පත්කිරීමට විරිධව මත තිබියදීත් එම තනතුරට ඔහු පත් කළේ ජනාධිපතිවරයා බවත් ගනුදෙනුවේ තොරතුරු හෙළිවීම වළක්වමින් ඩියු ගුණසේකර ගේ ප්‍රධානත්වයෙන් තිබු කෝප් කමිටුව සම්පුර්ණ අධ්‍යන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සුදානම් වෙද්දී වාර්තාව ඉදිරිපත්වීම වළක්ව ගන්න පාර්ලිමේන්තුව විසුරුවා හරිම සම්බන්ධයෙන් ද ගම්මන්පිල මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට චෝදනාවක් ද ඉදිරිපත් කළේය.

මන්ත්‍රීවරයා විසින් මෙසේ ප්‍රකාශ කළේ සඳුදා (31)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

මහා බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියා මාර්ග 6 ක් ද මාධ්‍ය හමුවේ දී මන්ත්‍රීවරයා සඳහන් කළේය

1. අගමැතිතුමා වහාම ඉල්ලා අස්වීම.

2. අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස් අධ්‍යක්ෂවරුන්ගේ විදේශ ගමන් තහනම් කරන්න.

3. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සතු බැංකු ගිණුම් තහනම් කර එය සතු අයුතු ලෙස උපයා ගත් අරමුදල් මහ බැංකුවේ භාරයට ගන්න.

4. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සතු මුදල් තැරැව්කාර බලපත්‍රය වහාම අත්හිටුවන්න.

5. පොලීසියේ අපරාධ පරීක්ෂණ අංශයේ හෝ අල්ලස් කොමිසමේ සහය ඇතිව නීතිපති විසින් අගමැති රනිල් වික්‍රමසිංහ, අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු වගකිවයුතු සියළු දෙනාට අපරාධ නඩු ගොනු කිරීම.

6. ලංකා බැංකුව සතුව මුදල් තැරැව්කාර සමාගමක් තිබිය දී පර්පෙචුවල් ට්‍රෙෂරීස් හරහා ලංසු තැබීමෙන් ලංකා බැංකුව විසින් දූෂණයක් සිදු කිරීම පිළිබඳ පරීක්ෂණයක් ඇරඹීම

අදාල ගනුදෙනුව සම්බන්ධයෙන් විඝණකාධිපතිවරයා කළ කාර්යභාරය ඇගයීමට ලක් කරමින් විඝණකාධිපතිවරයා ඔටුනු නොපලන් වීරයා ලෙසින් හැදින්විය.

” මේ වංචාවට විරුද්ධව අපි ගොඩ නැඟුව පුළුල් ජන මතය නිසා ආණ්ඩු පාර්ෂවයේ සිටින ශ්‍රීලනීප මන්ත්‍රීවරු මුස්ලිම් කොන්ග්‍රස් මන්ත්‍රීවරු මේ ආණ්ඩුව බිහිකිරීමට ප්‍රභල දායකත්වයක් දුන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු, මේ ආණ්ඩුව බලයට ගෙනා ජනතා විමුක්ති පෙරමුන මේ සියළු බලවේග මෙ සටනෙදි අප හා එකතු වුණා. එහි ගෞරවය මුලින්ම අපි දෙන්න ඕන විඝනකාධිපති තුමන්ට. එතුමන් තමයි මේ සටනේ ඔටුනු නොපළන් වීරයා. එතුමන් ජීවිත අවධානමක් ගනිමින් ඇත්ත ඇති සැටියෙන් තම වාර්තාවේ ලිව්වා. එතුමන්ගේ තොරතුරු මතයි කෝප් කම්ටුව කටයුතු කරන්නේ. පොලිස්පතිතුමන්ට නීතිපතිතුමන්ට ආදර්ශයක් වන ආකාරයට මෙහිදී විඝණකාධිපතිතුමන් කටයුතු කර තියෙනවා.” යයි උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පැවසිය.

Related posts

Comments are closed.

Top