දේශපාලනය නිසා වෙනස් නොවන ප්‍රතිපත්ති ශ්‍රී ලංකාවට අවශ්‍යයි- ශ්‍රී ලංකාවේ චීන තානාපති

Chinese Ambassador-Sri Lanka-gagana

කාලයෙන් කාලයට ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ වෙනස් වුවත් ප්‍රතිපත්ති වෙනස් නොවන වාතාවරණයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළ යුතු බවත්, රට තවත් බාහිරට විවෘත කළ යුතු බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියෑන්ලින්ග් ප්‍රකාශ කරයි.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ චීන තානාපති කාර්යාලයේ අඟහරුවාදා (01දා) පැවැති මාධ්‍ය වැඩමුළුවක් අමතමිනි.

ඉදිරි වසර තුන – පහ ඇතුළත ශ්‍රී ලංකාවට චීනයෙන් ඩොලර් බිලියන 05කට අධික සෘජු විදේශ ආයෝජන පැමිණීමට නියමිත බැවින් ශ්‍රී ලංකාවේ නීතියේ හා ප්‍රතිපත්තියන්හි ස්ථාවරත්වයද රජයේ ආයතනවල මෙන්ම රාජ්‍ය සේවකයන්ගේ කාර්යක්ෂමතාවද ඉතාමත් අවශ්‍ය බව චීන තානාපතිවරයා එහිදී සඳහන් කළේය.

චීනය විසින් ක්‍රියාත්මක කරන ලද කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නව රජය බලයට පත්වීමත් සමග තාවකාලිකව නවතා තැබීම හේතුවෙන් කියා අහිමිවූවන්ගේ වගකීම බාර ගන්නේ කවුරුන්දැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියෑන්ලින්ග් ප්‍රශ්න කළේය.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය අතරමග නවතා දැමීමෙන් ශ්‍රී ලාංකිකයන් 5,000කට පමණ සෘජු හා වක්‍ර රැකියා අවස්ථා අහිමි වූ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති වරයා එහිදී වැඩිදුරටත් පැවැසීය.

එසේම වරාය නගර ව්‍යාපෘතිය නැවතත් ආරම්භ කර ඇතැත් එය නවාතා තැබූ කාලසීමාවේදී චීනයට දිනකට ඩොලර් මිලියනයක පමණ අලාභයක් සිදුවූ බවද පවසා සිටියේය.

මුදල් ඇමතිට චෝදනා

චීනයෙන් අධික පොලියකට ණය ලබා ගන්නා බවට මුදල් අමාත්‍ය රවී කරුණානායක මරනු ලබන ප්‍රකශයන්ට ද ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා පිළිතුරු ලබා දුන්නේය. මෙම ප්‍රකාශයන් කරමින් තවත් ණය ලබාගැනීමට මුදල් ඇමතිවරයා තමා සමඟ සාකච්ඡා පවත්වන බව තානාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.

” මම මේ ගැන මුදල් අමාත්‍ය රවී කරුණානායක ගෙන් ප්‍රශ්න කළා. මම ඇහුව ඔබ ලබා ගන්න ණය මුදල් වල පොලිය ගැන සතුටු නැත්නම් තවත් ණය යෝජනා ගැන කතා කරන්නේ මොකද කියල ” තානාපතිවරයා පැවැසීය.

චීන රජය වෙනත් රටවලට ණය ලබා දෙන්නේ ස්ථාවර පොලි අනුපාතයකට බවත් එය 2% ක් අගයක් ගන්න බව සඳහන් කළ චීන තානාපතිවරයා රටවල් දෙකේ පවතින සම්බන්ධතාවයන් මත චීනයේ එක්සිම් බැංකුවෙන් සැලකියයුතු ප්‍රමාණයක ණය ලබා ගත හැකි බව පැවසීය

 

Related posts

Comments are closed.

Top