හිටපු බුද්ධි අංශ ප්‍රධානියා ඉවත් කිරීම ගැන සිවිල් සමාජයේ ප්‍රසාදය  | VIDEO

Suresh Sallay saley

මෛත්‍රී රනිල් පාලනය බලයට පත් කිරීම සඳහා වෙහෙසුනු බලවේග වල බලවත් විරෝධයට පාත්‍රවූ මහින්ද රාජපක්ෂ පාලන සමයේ පටන් යුද හමුදාවේ හිටපු බුද්ධි අංශ ප්‍රධානියා ධුරයෙන් පහ කරන්නට පියවර ගැනීම ගැන සිවිල් සමාජ නායකත්වයේ සතුට පලවී තිබේ.

බ්‍රිගේඩියර් තුවාන් සුරේෂ් සලේ හමුදා බුද්ධි ප‍්‍රධානි තනතුරින් ඉවත් කොට බි‍්‍රගේඩියර් විජේන්ද්‍ර ගුණතිලක ඒ වෙනුවට පත් කිරීම සඳහා රජය ‘පමාවී හෝ පියවර ගැනීම ගැන’ තමන් සතුටු වන බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කාර සරත් විජේසුරිය පැවසුවේය.

මහාචාර්ය විජේසුරිය එය හැඳින්වුයේ “නීතිය යුක්තිය හා සාධාරණය අපේක්ෂා කරන සමාජයක් වෙනුවෙන් ගත් වැදගත් පියවරක්,” ලෙසයි.

පොරොන්දු ඉටු කිරීමට  බාධා

හිටපු ආරක්ෂක ලේකම් වරයා තමන්ගේ අභිමතාර්ථ මුදුන් පමුණුවා ගැනීම සඳහා පත් කරන ලද බ්‍රිගේඩියර් සලේ ඇතුළු නිලධාරීන් වර්තමාන පාලනය යටතේත් යුද හමුදාවේ ඉහළ නිලතලවල දිගටම තබා ගැනීම නිසා රජය විසින් ජනතාවට දෙනලද පොරොන්දු ඉටු කිරීමට බරපතල බාධා පැමිණුනු බව මහාචාර්යවරයා ගගන සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේය.

බුද්ධි අංශයේ ‘අසමත් කම’

ඊට අමතරව ඔහු කියා සිටියේ, ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් සමයේ සිදු කරන ලද “මනුෂ්‍ය ඝාතන, මාධ්‍ය ආයතන වලට ගිනි තැබීම්, පැහැරගෙන යාම්, අතුරුදහන් කිරීම්,” ඇතුළු සාපරාධී ක්‍රියා පිළිබඳව කලින් දැනගැනීමට හෝ අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ඒමට හෝ එවක බුද්ධි අංශ ප්‍රධානියා අසමත් වීම බරපතල ප්‍රශ්නයක් බවයි.

මේ අපරාධ කරන ලද්දේ රජයේ හමුදා පිරිස් විසින් නොවේනම් බුද්ධි අංශ නීතිය ක්‍රියාත්මක කළ යුතුව තිබුනු බව ඔහු අවධාරණය කර සිටියේය.

“මහදවල් මනුෂ්‍ය ඝාතනයක් සිද්ධ වුනාම ඒ පිළිබඳ තොරතුරු සොයා ගැනීමට බැරි බුද්ධි අංශයක් කොහොමද රටේ ආරක්ෂාව තහවුරු කරන්නේ?” යි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු විමසා සිටියේය.

ස්ථාන මාරුවක්

යුද හමුදාවේ හිටපු බුද්ධි අංශ ප්‍රධානී ධුරයෙන් පහ කෙරුනු බ්‍රිගේඩියර් සුරේෂ් සලේ බුද්ධි අංශ රෙජිමේන්තුවට මාරු කර යැවු බවයි යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් විරත්න ගගන හා කියා සිටියේ.

කෙසේ වෙතත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ එය ‘සාමාන්‍ය ක්‍රමවේදය යටතේ’ සිදුවන ස්ථාන මාරුවීමක් බවයි.

රාජපක්ෂ පාලන සමයේ පුද්ගල ඝාතන හා දුෂණ වංචා සම්බන්ධයෙන් චෝදනා ලබන රජයේ ආරක්ෂක  නිලධාරීන්ට එරෙහි පරීක්ෂණ පමාවන්නේ බ්‍රිගේඩියර් සලේ සහ වර්තමාන ආරක්ෂක ලේකම් කරුණාරත්න හෙට්ටිආරච්චි නිසා බව මෙයින් සති කිහිපයකට ඉහතදී චෝදනා කළ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ඒ දෙදෙනා ඉවත් කරන ලෙස රජයට බලකර සිටියේය.

Related posts

Comments are closed.

Top