කේ. පී. වරදකරුවකු වී නෑ – නීතිපති

KP-gagana

එල්. ටි. ටි. ඊ සංවිධානයේ නායකයෙකුව සිටි කුමරන් පද්මනාදන් හෙවත් කේ. පී. වරදකරුවකු බවට මෙතෙක්‌ කළ පරීක්‍ෂණ අනුව අනාවරණය වී නැතැයි නීතිපතිවරයා ඊයේ (31 දා) අභියාචනාධිකරණය හමුවේ සඳහන් කළේය.

කුමරන් පද්මනාදන් අත්අඩංගුවට ගන්නා ලෙසට ඉල්ලමින් ජනතා විමුක්‌ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇති රිට්‌ පෙත්සම සලකා බැලූ අවස්‌ථාවේදී නීතිපතිවරයා එසේ ප්‍රකාශ කළේය.

මේ දක්වා කේ. පී කළ ත්‍රස්ත ක්‍රියා පිළිබඳව අනාවරණය වී නැතැයි නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ රජයේ අධිනීතිඥ ප්‍රියන්ත නාවාන මහතා එහිදී වැඩි දුරටත් අභියාචනා අධිකරණයට පැවැසීය.

අභියාචනාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ හමුවේ මෙම රිට්‌ පෙත්සම ඊයේ සලකා බලන ලදී

කේ. පී. ට එරෙහිව චෝදනා 190 ක්‌ එල්ල කරමින්පෙත්සම්කරු ඇතුළු ජනතා විමුක්‌ති පෙරමුණ විසින් මෙම රිට් පෙත්සම ගොනුකර ඇත

පොලිස්පති, ආරක්‍ෂක ලේකම්, ආගමන සහ විගමන පාලක ජනරාල්වරයා, හමුදාපති, කිලිනොච්චියේ ආරක්‍ෂක අණදෙන නිලධාරි, ත්‍රස්ත විමර්ශන ඒකකයේ ලේකම්වරයා, නීතිපතිවරයා සහ කුමරන් පද්මනාදන් මෙම පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත

කේ. පී. ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් අන්තර්ජාතික පොලිසියට අවශ්‍යව සිටි දරුණු පුද්ගලයා මෙන් ම එල්.ටී.ටී.ඊ. සංවිධානයේ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ජාත්‍යන්තර ත්‍රස්ත නායකයා කේ.පී. බවත් රිටි පෙත්සම ඔස්සේ කරුණු දක්වා ඇත

එමෙන් ම ඔහු ආසියාව, කැනඩාව, ඇමෙරිකාව සහ යුරෝපයේ අවි ජාවාරමේ නිරත වූ බවත්, මෙරට ද්‍රවිඩ ජනතාවට වෙනම රාජ්‍යයක් පිහිටුවීම උදෙසා වසරකට ඇමෙරිකන් ඩොලර් මිලියන 200-300ක අරමුදල් සොයාදෙන ලද පුද්ගලයා බව ද පෙත්සමේ සඳහන් වේ

රිට් පෙත්සම සලකා බැලූ අවස්‌ථාවේදී කේ. පී. ට එරෙහිව තවදුරටත් විමර්ශනය කිරීම සඳහා කාලය ලබාදෙන ලෙසට ද නීතිපතිවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය

ඒ අනුව ඔක්‌තෝබර් 28 දා දක්‌වා මෙම පෙත්සම විභාග කිරීම කල් තබන ලදී

පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ උපුල් කුමාරප්පෙරුම පෙනී සිටියේය

Related posts

Comments are closed.

Top