වධහිංසා කිරීම් ගැන එක්සත් ජාතීන් ශ්‍රී ලංකාවෙන් දැඩි ලෙස ප්‍රශ්න කරයි

 

UNCAT

අත් අඩංගුවේදී වධබන්ධන පැමිණවීම ඇතුළු ශ්‍රී ලංකාවේ රජයේ ආරක්ෂක අංශ වෙත චෝදනා එල්ලවන මානව හිමිකම් උල්ලංඝන පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ආණ්ඩුවේ නියෝජිතයන්ගෙන් ජිනීවා නුවරදී දැඩි ලෙස ප්‍රශ්න කරන ලදී.

පැය තුනක් තිස්සේ මතු කරන ලද ප්‍රශ්න මාලාව සම්බන්ධයෙන් හෙට දිනයේ ශ්‍රී ලංකාවෙන් පිළිතුරු අපේක්ෂා කරන බව වධහිංසාවලට එරෙහි එක්සත් ජාතීන් ගේ කමිටුව (UNCAT) දැනුම් දුන්නේය.

සුදුවෑන් පැහැරගැනීම්, අතුරුදහන් කිරීම්, රහසිගත වධකාගාර, අත් අඩංගුවේ මරණ හා ලිංගික වධහිංසා ඇතුළු අදත් සිදුවන මානව හිමිකම් කෙලෙසීම් සම්බන්ධ බරපතල ප්‍රශ්න වලට මුහුණ දීමට ආණ්ඩුවේ නියෝජිතයන්ට සිදුවිය.

නොවැම්බර් 15, 16 දෙදින පැවැත්වෙන විමර්ශනය ආරම්භයේදී ශ්‍රී ලංකා රජය සහ ජාතික මානව හිමිකම් කොමිසම විසින් ලබා දී ඇති සංඛ්‍යාලේඛන වල බරපතල පරස්පරතා පිළිබඳව නීතිපති ජයන්ත ජයසුරියගේ ප්‍රධානත්වයෙන් යුත් UNCAT විසින් ප්‍රශ්න කරන ලදී.

ආණ්ඩුවේ පරස්පර ගණන් හිලව්

වත්මන් රජය බලයට පත්වූ ඉකුත් වසර ආරම්භයේ සිට මේ වසරේ අගෝස්තු දක්වා අත් අඩංගුවේ දී වධ හිංසා කරන ලද  බවට ලත් පැමිණිළි සංඛ්‍යාව 628ක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කමිටුවට දන්වා තිබුනි.

එය ශ්‍රී ලංකා රජය විසින් දෙන ලද සංඛ්‍යාව මෙන් දහ ගුණයත් ඉක්මවීම පිළිබඳව විමතිය පලකළ විමර්ශිකා ෆෙලීස් ගෙයර් ඒ වෙනස පැහැදිලි කරන මෙන් ඉල්ලා සිටියාය.

රටේ පවත්වාගෙන යන රහසිගත වධකාගාර සම්බන්ධව මෙන්ම වධහිංසා පැමිණවීම පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් ප්‍රමාණවත් ලෙස විමර්ශන නොකිරීමද ප්‍රශ්න කිරීමට ලක්විය.

UNCAT SL 1

රහස් වධකාගාර

යාපනය, මුලතීව්, ත්‍රිකුණාමලය, කිලිනොච්චි සහ මඩකලපුව යන ස්ථාන වල රහසිගත වධකාගාර පිළිබඳව ලැබී ඇති තොරතුරු සම්බන්ධයෙන් කර ඇති විමර්ශනයක් වේ නම් ඒ ගැනද ශ්‍රී ලංකාවෙන් විමසන ලදී.

අත් අඩංගුවේදී වධහිංසා කිරීම සම්බන්ධ පැමිණිළි ගැන සෑහීමකට පත්විය හැකි ආකාරයෙන් පියවර ගෙන නැති බව කමිටුවේ අදහස විය.

වධහිංසාව වැලැක්වීම සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය ඇතුළු එක්සත් ජාතීන්ගේ ආයතන විසින් දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති නිශ්චිත පියවර පැහැදිලි කරන ලෙසද ආණ්ඩුවෙන් ඉල්ලා සිටින ලදී.

වධ හිංසාවලට හා අනෙකුත් කෘර, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම් හෝ දඬුවම්වලට එරෙහි සම්මුතිය පිළිගෙන ඇති රාජ්‍ය 159 අතර  ශ්‍රී ලංකාව ද වෙයි.

සම්මුතිය ක්‍රියාවට නංවා ඇති අන්දම හා UNCAT විසින් කලින් සිදුකරන ලද නිර්දේශ ක්‍රියාත්මක කොට ඇති  ආකාරය සමාලෝචනය කිරීම උදෙසා එක්සත් ජාතීන් ගේ සංවිධානය විසින් සිදුකරනු ලබන නිරන්තර විමර්ශනයන්ට ශ්‍රී ලංකාව මුහුණ දිය යුතු ය.

ජිනීවාහි විල්සන් මාලිගයේ මෙවර මුළු දෙන්නේ 59 වැනි UNCAT සැසි වාරයයි.

Related posts

Comments are closed.

Top