දිළිඳුකම පිටුදැකීමට ජනපතිගෙන් විශේෂ මෙහෙයුම් කමිටුවක්

president-poor 2

2017 වසර රට දිළිදුබවින් නිදහස් කර ගැනිමේ වසර ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙන අතර ඒ පිලිබඳ මූලික ප්‍රවේශයන් සහ ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් පිලිබඳ අධීක්ෂණය කර අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිතුමා විසින් විශේෂ මෙහෙයුම් කමිටුවක් පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

අමාත්‍ය සරත් අමුණුගමගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස අමාත්‍යවරුන් වන රවී කරුණානායක, කබීර් හෂීම්, සජිත් ප්‍රේමදාස, දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ යන මහත්වරුන් සහ පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේ ද, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක කටයුතු කරති.

2017 වර්ෂය රට දිළිදුබවින් නිදහස් කර ගැනීමේ වසර ලෙස ක්‍රියාවට නැංවීම සහ ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය පිටුදැකීමේ උපාය මාර්ගික ප්‍රවේශය පිලිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපතිතුමා විසින් විශේෂ සාකච්ඡාවක් සිකුරාදා (25) දහවල් කැඳවා තිබුණි.

පාර්ලිමේන්තුවේ දී පැවති මෙම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන්, පළාත් ආණ්ඩුකාරවරුන්, ප්‍රධාන අමාත්‍යවරුන් සහ ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්  ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරිහු සහභාගී වූ අතර එහිදී ජනාධිපතිතුමා විසින් මෙම කමිටුව පත් කරනු ලැබීය.

එක් ප්‍රතිපත්තියක, එක් අරමුණක පිහිටා මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මක කළයුතු බවද අවධාරණය කළ ජනාධිපතිතුමා රටේ දරිද්‍රතා දර්ශකය අඩු මට්ටමකට ගෙන ඒමින් දිළිදුබවින් පෙළෙන ජනතාවගේ ජීවන මට්ටම උසස් තත්ත්වකට ගෙන ඒම සඳහා මෙම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙහි මූලික කටයුතු පිලිබඳ තවත් සාකච්ඡාවක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලබන මසදී පැවැත්වෙයි

Related posts

Comments are closed.

Top