ජාතීන් අතර සංහිඳියාව සහ ආර්ථික සංවර්ධනය එකවර – ජනපති

President 8 parliament

අලුත් ආණ්ඩුවේ ප්‍රධාන කාර්යභාරය වන්නේ ජාතීන් අතර සංහිඳියාවත්,  සමාජ ආර්ථික සංවර්ධනයත් එක්වර සාක්ෂාත් කර ගැනීම යයි ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා පවසයි.

ශ්‍රී ලංකාවේ අටවැනි පාර්ලිමේන්තුවට තේරී පත්වුණු මන්ත්‍රීවරුන්, මන්ත්‍රීවරියන් පිළිගනිමින් සභාව ඇමතු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අලුත් ආන්ඩුව හැඳින්වුයේ ‘ජාතික ආණ්ඩු පදනමින් රටේ ප්‍රධාන පක්ෂ දෙක අතර ගොඩනැගෙන සම්මුතිවාදී සන්ධානයක්’ ලෙසයි.

අසමත් වීම

‘සම්මුතිවාදී’ රජයක් ගොඩනගා ගත යුතු අවස්ථාව වුයේ ‘ශ්‍රී ලංකාව පශ්චාත් යුද සමයක් ලෙස පිය නැගුණු පළමු මොහොතේ,’ යයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

එමගින්, රට හමුවේ ඇති ජාතික හා ජාත්‍යන්තර ප්‍රශ්න වලට මුහුණදීමේ හැකියාව ලැබෙනු ඇති බවට ඔහු විශ්වාසය පල කළේය.

කෙසේ වෙතත්, රටේ ප්‍රධාන පක්ෂ දෙක ඒ සම්බන්ධයෙන් අසමත් වූ බවද  ජනාධිපතිවරයා කියා සිටියේය.

සම්පිණ්ඩනය

නව රජයේ න්‍යාය පත්‍රය සැකසීමේදී, එක්සත් ජාතික පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානය මහ මැතිවරණයට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශන තමන්  ජනාධිපතිවරණයෙන් ජය ගත්  ප්‍රතිපත්ති ප්‍රකාශනය සමග සම්පිණ්ඩනය කරන බව ජනාධිපති සිරිසේන වැඩි දුරටත් සඳහන් කළේය.

ජාතික ප්‍රශ්නය

ජනාධිපතිවරයාගේ දේශනය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය වෙතින් පල වුනේ නොසතුටකි.

පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටතදී ගගන හා කතා කළ දෙජාස පාර්ලිමේන්තු මන්ත්‍රී මාවයි සේනාධිරාජා කියා සිටියේ ජනාධිපති දේශනයේ ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය ගැන සඳහන් නොවීම තම කනගාටුවට හේතු  වන බවයි.

ජාතික ප්‍රශ්නයට ලබාදෙන විසඳුම් පිළිබඳව ජනාධිපතිවරයා කතා කරනු ඇතැයි තමන් තැබූ බලාපොරොත්තුව ඉටු නොවූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

Comments are closed.

Top