2016: අල්ලස, දුෂණය, නාස්තිය පිළිබඳ ‘පරාජිත වසරක්’

maithreee-bribery

බලාපොරොත්තු බිඳ දැමූ, අපේක්ෂා භංගකළ රටක් ලෙස ශ්‍රී ලංකාව අද ජාත්‍යන්තර දුෂණ විරෝධී දිනය සමරන බව පවසන නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වන ජාතික ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය මෛත්‍රී-රනිල් පාලනයේ දෙවැනි අවුරුද්ද හඳුන්වා ඇත්තේ අල්ලස, දුෂණය, නාස්තිය පිළිබඳ සටනෙන් පරාජයට පත්වූ වසරක් ලෙසයි.

ගෙවී ගිය වසර තුල දුෂණ මර්දනය සඳහා එක්සත් ජාතීන්ගේ නිර්ණායක අනුව යන එකම අලුත් නීතියක් හෝ හදුන්වාදීමට රජයට නොහැකි වු අතර  වත්කම් බැරකම් ප්‍රකාශ නීති කෙටුම්පතක් හෝ 2016 වසරේ දී නීතියක් බවට පත් වූයේ නැති බවයි නිවේදනයක් නිකුත් කරමින්  එම සංවිධානය පෙන්වා දෙන්නේ.

ආණ්ඩුවෙන් සමුලුවක්

මේ අතර, ශ්‍රී ලංකාවේ සංවර්ධන ඉලක්ක ළඟාකරගැනීම පිණිස දූෂණයෙන් තොර සමාජයක් ඇති කිරීමේ වැදගත්කම පිළිබඳ ව දේශපාලනඥයන්, රාජ්‍ය අංශයේ ඉහළ නිලධාරීන් හා අදාළ පාර්ශව දැනුම්වත් කිරීමේ අරමුණින් ජාතික දූෂණ විරෝධී සමුළුව – 2016  9 සිකුරාදා  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්වෙන බව රජය නිවේදනය කර තිබේ.‍

‘ජාතික විගණන පනත‘ පිළිබද බලාපොරොත්තු ඉටු නොවු බව පෙන්වා දෙන එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් එම නිවේදනය මගින් සඳහන් කර ඇත්තේ අවම වශයෙන් ‘ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවට‘ සමාජිකයන් පත් කිරීමට හෝ රජය සමත් නොවු බැවින් ‘2016 ශ්‍රී ලංකාව දුෂණ විරෝධී සටනේ අසමත් වූ රාජ්‍යයක් ලෙස සැලකීම නිවැරදි‘ බවයි.

දුෂණ විමර්ශනය දැඩි අර්බුදයකට යොමු වීම,  අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ කටයුතු දැඩි විවේචනයට ලක් වීම,  එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරියට ඉල්ලා අස්වීමට සිදු වීම,  පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය නඩු 12 ක් පවරා ඇති නමුත් ඔවුන්ගේ කටයුතු ද දැඩි විවේචනයට ලක් වෙමින් තිබීම මෙන්ම  විමර්ශන සදහා දෛනිකව දේශපාලන බලපෑම් එල්ල වන පරිසරයක් ගොඩ නැගී ඇති අතර  විමර්ශන අවසන් වූ ලිපි ගොණු විමර්ශන නිලධාරීන් අත බව පෙන්වා දෙන එම සංවිධානය අවධාරණය කරන්නේ  නීතිපති දෙපාර්තමේන්තුවේ ගොඩ ගැසී ඇති අල්ලස්, දුෂණ වංචා පිළිබද ලිපිගොනු සංඛ්‍යාව 52 ක් හෝ එයට වැඩි සංඛ්‍යාවක් ලෙසයි.

14666261_10209433851376748_1829067858785556191_n
අලුත් නීතිපති 

නව නීතිපතිවරයා පත්වීමෙන් පසුව නඩු පැවරීමේ ක්‍රියාවලිය වේගවත් වනු ඇතැයි  තැබූ බලාපොරොත්තු ද  වියැකී යමින් තිබෙන බව පවසන විධායක අධ්‍යක්ෂවරයා අවධාරණය කර ඇත්තේ  මහ බැංකු බැදුම්කර වංචාව, ගල් අඟුරු වංචාව ඇතුළු සිදුවීම් ගණනාවක් මේ වසරේ දී යහපාලන රජය යටතේ කරළියට පැමිණ ඇති අතර  වත්මන් රජයට එරෙහිව එක පිට එක දුෂණ චෝදනා එල්ල වන පරිසරයක් ගොඩ නැගෙමින් තිබෙන බවයි.

2015 ජනාධිපතිවරණ සමයේ සිදු කළ කිසිදු පූර්ව ප්‍රචණ්ඩ ක්‍රියාවකට, මහජන දේපල අයථා පරිහරණයකට, බඩු බෙදීමකට, රාජ්‍ය සම්පත් අවභාවිතයකට එරෙහිව අවම වශයෙන් මුලික විමර්ශනයක් හෝ පවත්වා නඩු පවරන්නට රජය අසමත් වී ඇති බව එම නිවේදනය මගින් දැඩිව අවධාරණය කර තිබේ.

අපරාධකාරයන් ට නිදහස

ප්‍රකට රනුග්ගේ වාර්තාවේ චෝදනා සම්බන්ධයෙන් මුලික විමර්ශනයක් හෝ අවසන් කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට හැකිවී නැති බවද එම නිවේදනය මගින් තව දුරටත් පෙන්වා දෙයි.

දුෂණ විරෝධී සටනේ ජනමාධ්‍ය සතු වගකීම ද  සුවිශේෂී  බව පෙන්වා දෙන නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වන ජාතික ව්‍යාපාරයයේ විධායක අධ්‍යක්ෂවරයා පවසන්නේ අධිකරණ ක්ෂේත්‍රයේ  දුෂණ හෙළි කළ මාධ්‍ය වේදීන්ට ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කර මාධ්‍ය මර්දනය කරා යන ගමන ඇරඹී ඇති අතර, අපරාධ සිදු කළ පුද්ගලයන්ට දේශපාලන නිදහස තහවුරු වී ඇති රටක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවයි.

ජාත්‍යන්තර දුෂණ විරෝධී දිනය දවසේ තවත් සාම්ප්‍රදායික පණිවුඩයක් නිකුත් කිරීමට හැකියාවක් නොමැති බව පවසන  කැෆේ සංවිධානය   ‘පැහැදිලි ලෙසම අප 2016 වසර තුල අල්ලස, දුෂණය, නාස්තිය පිළිබඳ සටනෙන් පරාජයට පත්වී ඇත්තෙමු යැයි‘ යනුවෙනි.

විධායකය, ව්‍යවස්ථාදායක හා අධිකරණය සෘජු හා අවංක මැදිහත්වීමක් සිදු නොකරන්නේ නම් රාජ්‍ය නිලධාරීන්, දේශපාලනඥයන් ඒ සදහා තම දායකත්වය සපයන්නේ නැතිනම් දුෂණ විරෝධය තවත් එක් සමරුවක් ලෙස අතීතයට එක්වීම වැලැක්විය නොහැකි වන ඇති බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන්ගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් දක්වා තිබේ.

Related posts

Comments are closed.

Top