නොදුටු උතුරේ යෝජනාවකට විරුද්ධව හෙළ උරුමයෙන් පැමිණිල්ලක් | VIDEO

North Buddhist Temple 2

උතුරු පළාත් සභාව සම්මත කරගත් බව පැවසෙන යෝජනාවක් මගින් ආගමික නිදහස උල්ලංඝනය වී ඇතැ’යි චෝදනා කරමින් පැමිණිලි කර තිබෙන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් එම පළාත් සභාව විසුරුවා හරින ලෙස රජයට බල කර සිටී.

ජාතික හෙළ උරුමය විසින් 9 සිකුරාදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට එම පැමිණිල්ල කර ඇත්තේ උතුරේ බෞද්ධ සිද්ධස්ථාන ඉදි කිරීමට විරුද්ධව උතුරු පළාත් සභාව සම්මත කරගත් වග පැවසෙන යෝජනාවක් “කුණු කුඩයට” දැමිය යුතු බවට අධිකරණ හා බුද්ධසාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේ අනතුරු ඇඟවීමක් කළ දාට පසු දිනය.

“උතුරේ බෞද්ධ සිද්ධස්ථාන ඉදිකරන්න දෙන්නේ නැහැ කියා උතුරේ මහ ඇමැතිතුමා පළාත් සභාවේ යෝජනා සම්මත කර තිබෙනවා. එතුමාගේ යෝජනාව කුණු කුඩෙට යනවා,” යි  රාජපක්ෂ ඇමතිවරයා 8 බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කොට ඇත්තේ තොරතුරු හරියාකාර නොදැන බව උතුරේ මහ ඇමැති වරයා පවසයි.

සිංහල බෞද්ධයන් ‘චූන් කිරීම’

“තමන් හොඳින් දන්නා හඳුනන” විජයදාස රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කිරීමට පෙර කළ යුතුව තිබුනේ උතුරු පළාත් සභාවේ ප්‍රකාශ වුනේ කුමක්දැයි තමන්ගෙන් පළමුව විමසා බැලීම බව සීවී විග්නේස්වරන් 9 දා නිකුත් කළ නිවේදනයකින් කියා සිටී.

සම්මත කරගන්නා ලදැ’යි පැවසෙන යෝජනාවේ සිංහල පිටපතක් ඉල්ලා යැව්වත් පරිවර්තන පහසුකම් නොමැති බව සඳහන් කරමින් එය පමා කරනු ලබන බවට චෝදනා කළ ජාහෙඋ පැමිණිලිකාර නිශාන්ත ශ්‍රී වර්ණසිංහ පළාත් සභා මන්ත්‍රීවරයා උතුරු පළාත් සභාවට එරෙහිව නීති මගින් කටයුතු නොකරන්නේ යැයි අධිකරණ අමාත්‍යවරයා දෝෂ දර්ශනයට ලක් කළේය.

“බහුතර සිංහල බෞද්ධ ජනතාව චූන් කරන්න පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කිරීම පමණක් ප්‍රයෝජනවත් වෙන්නේ නෑ,” යි ඔහු මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේය.

අකුරටියේ නන්ද නා හිමි

පළාත් සභාව විසින් හෙළා දකින ලද්දේ නීතිමය අවසරයකින් තොරව යුද හමුදා අනුග්‍රහයෙන් උතුරේ බෞද්ධයන් නොමැති ස්ථාන වල බලහත්කාරයෙන් බුදු පිළිම පිහිටුවීම බව මහ ඇමතිවරයා විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වෙයි.

සිංහල ශබ්ද කෝෂයේ ප්‍රධාන කර්තෘ ආචාර්ය අකුරටියේ නන්ද නා හිමියන් ප්‍රමුඛ සංඝරත්නය තමන් හමුවී මේ පිළිබඳව සාකච්ඡා කළ අවස්ථාවේ බෞද්ධ වාසයක් නොමැති තැන අනවසරයෙන් බුදු පිළිම ඉදි කිරීම උන්වහන්සේලාගේද හෙලා දැකීමට ලක්වූ බව මහ ඇමති විග්නේස්වරන්  ප්‍රකාශ කරයි.

නීතිමය අවසර ලබා ඕනෑම අයකු කරන ඕනෑම ආගමික ඉදිකිරීමකට උතුරු පළාත් සභාව විරුද්ධ නොවන බව අවධාරණය කරන මහ ඇමතිවරයා කියා සිටින්නේ තමන් කතා කරන්නේ අනවසර ඉදිකිරීම් ගැන බවයි.

Related posts

Comments are closed.

Top