“පඩි වැඩි නොකළොත් තරුණ තරුණියන් රට හැර යාවි” අගමැති

Ranil_maithree_Seenigama

වැටුප් වැඩි නොකළොත් ශ්‍රී ලංකාවේ රැකියා විරහිත තරුණ පිරිස් රට හැර යාමේ අවදානමක් ඇතැයි අගමැතිවරයා අනතුරු අඟවයි.

වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ උත්සවයක දේශනයක් පවත්වමින් අගමැති වරයා 14 බදාදා  අවධාරණය කර ඇත්තේ නිපුණත්වය ලබා දුන් පමණින් රැකියා සුරක්ෂිත භාවය සහතික වන්නේ නැති බවයි.

“තරුණ තරුණියන්ගේ පඩි වැඩි නොකළොත් පුහුණුව ලබන තරුණ තරුණියන් මැද පෙරදිග හෝ යුරෝපයට ගොස් එහි රැකියා ලබා ගනීවි,” යැයි අගමැති රනිල් වික්‍රමසිංහ අනතුරු අඟවා සිටියේ කොළඹ ශ්‍රී ජිනරතන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයෙන් සීනිගම නව ශාඛාවක් විවෘත කරමිනි.

හුණුපිටියේ ගංගාරාමාධිපති ගලබොඩ ඤණිස්සර පොඩි හාමුදුරුවන්ගේ උපන් දිනය නිමිත්තෙන් මෙම මධ්‍යස්ථානය පිහිටුවනු ලැබූ බවයි අගමැතිවරයා පවසා ඇත්තේ.

“මුලික සංහිඳියාවක්” සමග දැනට රටේ දේශපාලන ස්ථාවර භාවයක් ඇතැයි පැවසූ අගමැතිවරයා කියා ඇත්තේ ඉදිරියේදී රටේ ආර්ථික ස්ථාවර භාවයක් ඇතිවන බවට විශ්වාසය පල කරමින් ඒ සඳහා අවශ්‍ය රැකියා වල නියැලීම සඳහා ක්ෂේත්‍ර ගණනාවකම වෘත්තීය පුහුණුව ලැබූ අයගේ විශාල හිඟයක් වර්තමානයේදී තිබෙන බවයි.

“ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාල පුහුණු ශ්‍රමිකයන්ගේ විශාල හිඟයක් තිබෙනවා. පරිගණක දැනුම, තොරතුරු තාක්ෂණ දැනුම ආශ්‍රිත රැකියා වලට පුහුණු ශ්‍රමයෙහි අඩුවක් තිබෙනවා,” යි අගමැතිවරයා දැනුම් දී තිබේ.

Related posts

Comments are closed.

Top