දළදා ආසිරි ලබමින් නාවික හමුදාපති මාධ්‍යවේදියාට පහරදීලා | VIDEO

NAvy commander in kandy

දන්ත දාතුන් වහන්සේගේ ආශිර්වාද ලබාගැනීම සඳහා පුද පූජා පවත්වමින් ශ්‍රී ලංකාවේ නාවික හමුදාපතිවරයා මාධ්‍යවේදියකුට පහර දීම දැඩිසේ  හෙළා දුටු මධ්‍යම පළාතේ වෘත්තීය ජනමාධ්‍යවේදීහු ඔහු අත් අඩංගුවට ගන්නා ලෙස  ආණ්ඩුවට බල කර සිටියහ.

මාගම්පුර කම්කරුවන් විසුරුවා හැරීමට සන්නද්ධ භට කණ්ඩායමක් සමග ගොස් රියර් අද්මිරාල් රවීන්ද්‍ර ගුණරත්න මාධ්‍යවේදී රොෂාන් දිලිප් කුමාර ට පහර දීම හෙලා දකිමින් අද පැවති උද්ඝෝෂණයේදී මහනුවර මාධ්‍ය පදනමේ සභාපතිවරයා පෙන්වා දුන්නේ ප්‍රාදේශීය මාධ්‍යවේදී  පහර දීම සිදුවුයේ දළදා වැඳ පුදා ගන්නා හමුදා නායකයකු විසින් බවයි.

“නාවික හමුදාපතිවරයා ශ්‍රී දළදා මාලිගාවට ගිහිල්ලා දළදා මාලිගාව වැඳලා, දළදා හාමුදුරුවනට දානේ දීලා, අතේ පිරිත් නූල් කැටියක් දාගෙන ගිහිල්ලා තමයි අපේ ප්‍රාදේශීය මාධ්‍යවේදියකුට අමානුෂික ලෙස පහර දුන්නේ,” යි මහනුවර මාධ්‍ය පදනමේ සභාපති ජේ ඒ එල් ජයසිංහ ප්‍රකාශ කළේය.

ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

පහර කෑ මාධ්‍යවේදියාට දොස් පවරමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ රංග කලන්සුරිය කරන මැදිහත්වීම  දැඩි දෝෂ දර්ශනයට ලක් කළ මධ්‍යම පළාත් මාධ්‍ය එකමුතුවේ කැඳවුම් කාර සරත් සමරනායක යුක්තිය ඉටුවේදැයි සැකයක් මතුවන බව කියා සිටියේය.

මාධ්‍යවේදී “රැහේ එවුන් රකින” කී ජනාධිපතිවරයාට එම පොරොන්දුව සැබෑවක් කිරීමට අවස්ථාවක් දැන් උදාවී ඇතැයි මධ්‍යම පළාත් වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති  කමල් සුරවීර ප්‍රකාශ කළේය.

නාවික හමුදාපති රියර් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ගෙන් පහර කෑ මාධ්‍යවේදියාට යුක්තිය ඉටු කර ගැනීම සඳහා හෙට දිනයේ කොළඹ නගරයේ පැවැත්වෙන උද්ඝෝෂණය ඇතුළු දීප ව්‍යාප්ත විරෝධතා මාලාවක් පැවැත්වීමට නියමිත බව මධ්‍යම පළාත් මාධ්‍යවේදීහු පැවසූහ.

Related posts

Comments are closed.

Top