‘අපහාසාත්මක’ වෙබ් අඩවි මැඩීමේ පියවර ගැනීමට රජය සැරසේ | VIDEO

සේයා : ජනාධිපති මාධ්‍ය ඒකකය

අපහාසාත්මක අයුරින් කරුණු පළකරන වෙබ් අඩවිවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට රජය අනතුරු අඟවයි.

විනිශ්චයකාරවරුන්ට එරෙහිවද අන්තර්ජාලයේ  “අසාධාරණ, අවිනීත සහ අපහාසාත්මක” කරුණු පළ වී තිබුණු බව පවසමින් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් රජය ගත් තීරණය දැනුම් දුන්නේ වත්තල පෙගාසස් රීෆ් හෝටලයේ පැවති විනිශ්චයකාරවරුන්ගේ වාර්ෂික සම්මේලනය 19 සඳුදා පෙරවරුවේ අමතමිනි.

‘නඩු කටයුතු ප‍්‍රමාදය වැළැක්වීම සහ අධිකරණ සේවය පිළිබඳ ජනතාවගේ විශ්වාසය දිනා ගැනීම’ යන තේමාව යටතේ අධිකරණ සේවා සංගමය විසින් සම්මේලනය සංවිධානය කර තිබු බව ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කරයි.

කෙසේ වෙතත්, අගමැතිවරයා ඉකුත්දා පවසා තිබුනේ අන්තවාදය පැතිරවීම සඳහා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය යොදා ගැනීමට එරෙහිව යම් පියවර ගත හැකි වුවත් අන්තර්ජාලය පාලනය කිරීමේ හැකියාවක් නැති බවයි.

රාජ්‍ය ප‍්‍රතිපත්තිය යහපාලන නාම පුවරුවට සීමා නොකර අධිකරණය, රාජ්‍ය සේවය ඇතුළු සියලු ක්ෂේත‍්‍රවල තිබිය යුතු නිදහස සහ ස්වාධීනත්වය තහවුරු කරන වගට සහතික වූ ජනාධිපතිවරයා අධිකරණයේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතිත්වය ඇතිකිරීමේ මූලික වගකීම ඉටු කළ යුත්තේ රජය බව පවසා සිටියේය.

විධායකයේ හෙවත් ජනාධිපතිවරයාගේ  හැසිරීමේ සෙවණැල්ල කෙතරම් දුරට අධිකරණයට බලපෑම් එල්ල කළේ ද යන්න පසුගිය දශක කිහිපය අධ්‍යයනය කිරීම තුළින් ‘සියලු දෙනාට පෙනී යන” බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසන්නේ.‍

ඒ නිසා අධිකරණයේ අපක්ෂපාතී භාවය පිළිබඳ ජනතාවගේ  විශ්වාසය බිඳ වැටී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

උසාවියේ සහ සිරගෙදර සැලකිලි

අධිකරණය සහ නීතිය සැමට සාධාරණ විය යුතු අතර තරාතිරම අනුව අධිකරණයේ සහ සිරගෙදර වෙනම සැලකිලි හිමිවන බවට සාමාන්‍ය ජනතාවගෙන් සහ විවිධ අංශවලින් නැගෙන චෝදනාව පිළිබඳ ක්ෂේත‍්‍රයේ සියලුදෙනාගේ කඩිනම් අවධානය යොමු විය යුතු බවද  ජනාධිපතිපතිවරයා එහිදී අවධාරණය කළේය.

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඉකුත්දා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ සිරගත කරනු ලබන ධනවත් හා බලවත් පුද්ගලයන්ට බන්ධනාගාරය තුලදී විශේෂ සැලකිලි ලැබෙන බවයි.

අධිකරණ සේවා කොමිෂන් සභාව තුළ පත්වීම් සහ උසස්වීමේ ලබාදීමේ දී අත්දැකීම් සහ දක්ෂතාවයට ප‍්‍රමුඛත්වය හිමිවිය යුතු අතර ඒ සඳහා රජය ඉඩ කඩ සලසා තිබෙන බව පැවසු ජනාධිපතිතුමා අධිකරණ ක්ෂේත‍්‍රයේ කටයුතු කරන සෑම කෙනෙක් වෙනුවෙන් ම සාධාරණ වැටුප් ක‍්‍රමයක් ඇති කිරීමට රජය කටයුතු කරමින් සිටින බව සදහන් කළේය.

විනිසුරුවන්ට දඬුවම්

අධිකරණ ක්ෂේත‍්‍රයේ සේවය කරන පිරිස් වෙනුවෙන් සාධාරණ වැටුප් ක‍්‍රමයක් නොමැතිවීමේ ගැටලුව රජය හඳුනාගෙන තිබෙන අතර නිදහස් මනසකින් සිය අපක්ෂපාතී සහ ස්වාධීන සේවය මහජනතාව වෙනුවෙන් ලබාදීම සඳහා ක්ෂේත‍්‍රයේ සෑම තනතුරක්ම පිළිගත හැකි සාධාරණ වැටුප් තලයක පිහිටුවීමට රාජ්‍ය ප‍්‍රතිපත්තිය අනුව කටයුතු කරන බව ජනාධිපති වරයා  එහිදී වැඩි දුරටත්  ප‍්‍රකාශ කළේය.

කෙසේ වෙතත් අධිකරණ ක්ෂේත්‍රයට එල්ලවන විවේචන සහ චෝදනා සම්බන්ධයෙන්  යම් ප්‍රමාණයකට හෝ අවධානය යොමු කළ යුතු බවද ඔහු වැඩි දුරටත් සදහන් කළේය.

ඉතාම මෑතදීත් එක්සත් ජාතීන් විසින් ශ්‍රී ලංකාවේ අධිකරණය විවේචනයට ලක් කරන ලද අතර වධ දීම් පිළිබඳව පැමිණිලි විභාග නොකරන විනිසුරුවන්ට පවා දඬුවම් පැමිණිය යුතු බවට ද නිර්දේශ කරන ලදී.

නඩු විභාගයකට පෙර සිරභාරයේ දී සැකකරුවන්ට වධ බන්ධන පැමිණවීම පිළිබඳව විනිසුරුවන් විසින් විමර්ශනය නොකිරීම සහ සැකකරුවන් දිගටම අත් අඩංගුවේ තබා ගැනීමට පොලිසිය කරන ඉල්ලීම් වලට වග විභාගයකින් තොරවම ඉඩ දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අධිකරණය පසුගිය මාසයේ ජිනීවා නුවර මුළුදුන් වධහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුවේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය.

විනිශ්චයකාරවරුන්ගේ වාර්ෂික  සම්මේලනය සදහා  ජනාධිපතිතුමාගේ සහභාගිත්වය වෙනුවෙන් අගවිනිසුරු කේ. ශී‍්‍ර පවන් අතින් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද පිළිගන්වා තිබේ.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ  අධිකරණ සේවා සංගමයේ සභාපති, ලේකම් ඇතුළු එහි සාමාජිකයන් ද, නීති ක්ෂේත‍්‍රයේ විද්වතුන් සහ ප‍්‍රවීණයන් ඇතුළු පිරිසක් ද  එම අවස්ථාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

 

 

 

 

 

 

Related posts

Comments are closed.

Top