යුද්ධයෙන් පසු සාහිත්‍යයේ ඉතිරිවී ඇත්තේ දේශපාලනය හා ජාතිවාදය පමණයි: අගමැති| VIDEO

යුද්ධය නිසා ශ්‍රී ලංකාවේ සාහිත්‍යය බිඳවැටී දේශපාලනයත්, ජාතිවාදයත් පමණක් ඉතිරි වී නූතන දුටුගැමුණු වැනි දේශපාලන චරිත බිහි වී තිබෙන බවට අගමැතිවරයා කනස්සල්ල පල කරයි.

බටහිර  කෙරේ අන්තවාදීන් පාන විරෝධය සම්බන්ධයෙන් විවේචනයක් එල්ල කළ අගමැති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ නූතන සාහිත්‍යයේ පෙරගමන් කරුවන්  ආභාෂය ලබා ඇත්තේ  විදෙස් සාහිත්‍යය තුලින් බව පෙන්වා දුන්නේ  “සහජීවනය උදෙසා කවියෝ” ප්‍රසංගයට එක්වෙමිනි.

නිදහසෙන් පසු හැටේ දශකය පමණ වන විට ශ්‍රී ලංකාවේ සාහිත්‍යයේ ඇති වී තිබුනු විශාල දියුණුව නිසා එදිරිවීර සරච්චන්ද්‍ර, දයානන්ද ගුණවර්ධන, හෙන්රි ජයසේන, ගුණසේන ගලප්පත්ති ආදී විශිෂ්ඨයන් ගණනාවක් බිහි වූ බව කියා සිටි අගමැති වරයා ප්‍රකාශ කළේ ඇතිව තිබූ සාහිත්‍ය දියුණුව බිඳ වැටුනේ  යුද්ධය නිසා බවයි.

“ඩබ්ලිව්.ඒ. සිල්වා, ජෝන් සිල්වා, මාර්ටින් වික්‍රමසිංහ සහ රවින්ද්‍රනාත් තාගෝර් වැනි සාහිත්‍යධරයන් බටහිරින් අරන් තම නිර්මාණ දියුණු කර ගත්තා. නමුත් පසුකාලීනව ඒ සහයෝගීතාව බිඳවැටුණා. අවසානයේ දේශපාලනයත්, ජාතිවාදයත් පමණක් ඉතිරි වී නූතන දුටුගැමුණු වැනි දේශපාලන චරිත බිහි වුණා,” යි අගමැතිවරයා කියා සිටියේය.

“ජාතිවාදය නිසා දෙකොට්ඨාශයේම අන්තවාදය ඇති වුණා. ඒ තුලින් සිංහල සාහිත්‍යයේත්, ද්‍රවිඩ සාහිත්‍යයේත් බිඳවැටීමක් දක්නට ලැබුණා.”

සිංහල සහ ද්‍රවිඩ සංස්කෘති

සිංහල සහ ද්‍රවිඩ සංස්කෘති තරම් පැරැණි සංස්කෘති ලෝකයේ නැතැයි කී අගමැතිවරයා උදාවී ඇති සාමකාමී තත්වය නිසා සාහිත්‍යයේ දියුණුවක් ඇති විය යුතු වුවත් ඒ සඳහා සාමයට පදනමක් ඇති කර ගත යුතු බව අවධාරණය කළේය.

“දැන් අපි ඉන්නේ විසිඑක්වැනි ශත වර්ෂයේයි. මේ යුගයේදී ජාතීන් අතර සම්බන්ධය ඇති කළ යුතුයි. අපේ සාහිත්‍යයේ නවීකරණයක් විය යුතුයි. ජාතිවාදය ඇති වනවා නම්, යුද්ධය ඇති වනවා නම් අපට සාහිත්‍යයෙන් පෝෂණය වීමට සහ දියුණුවීමට නොහැකි වනවා,” යි අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේදී දෙසැම්බර් 18 දා පැවති ජාතික සහජීවනය, සංවාද සහ රාජ්‍ය භාෂා අමත්‍යංශය සංවිධානය කොට තිබු මෙම ප්‍රසංගයේදී සිංහල හා දමිල භාෂාවන්ගෙන් කවි ගායනා ඉදිරිපත් කෙරුනි.

සියඵ ජනවර්ගයන්ට අයත්  ශ්‍රී ලාංකික කවි කිවිඳියන්ගේ එක්දින කවි කඳවුරක් ලෙසින් ප්‍රසංගය සංවිධානය කළ ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් අගමැතිවරයාගේ විශේෂ ප්‍රශංසාවටද ලක්විය.

“අපේ මනෝගනේෂන් ඇමැතිතුමා කවිය භාවිතා කරන්නේ විශේෂයෙන්ම සහජීවනයට. එතුමා සහජීවන ඇමැතිතුමා ලෙස විශාල වැඩකොටසක් කරමින් සිටිනවා. කවිය සහජීවනයට සම්බන්ධවීමට විශාල හේතුවක් තිබෙනවා. සාහිත්‍ය දියුණු වෙන්නේ සාමය ඇතිවිට පමණයි. සාමය නැති අවස්ථාවේදී  සාහිත්‍යත් දියුණු වන්නේ නැහැ,” යි අගමැතිවරයා කියා සිටියේය.

Related posts

Comments are closed.

Top