පුරාවිද්‍යා උරුමය රකින්න ජනපති බොදුබලසේනා සමග සාකච්ඡා| VIDEO

රජය සහ බොදුබලසේනාව අතර සබඳතා තවත් ඉදිරියට ගෙනයමින් ජනාධිපතිවරයා ශ්‍රී ලාංකික පුරාවිද්‍යා උරුමය රැක ගැනීම සම්බන්ධ ඉහළ පෙලේ සාකච්ඡාවක් සඳහා ගලබොඩඅත්තේ ඤාණසාර හිමියන් සම්බන්ධ කරගෙන තිබේ.

පන්දහසකට අධික අත්සනින් යුත් පෙත්සමකින් අත් අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා තිබෙන බොදුබල සේනානායකයා සමග ඉකුත්දා මඩකලපු බලා ගිය බුද්ධ සාසන අමාත්‍යවරයා ද සහභාගි වූ එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ඓතිහාසික ස්ථාන ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය භෞතික සහ මානව සම්පත් පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව සතුව නොමැති බවයි.

එබැවින් පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ඓතිහාසික ස්ථාන ආරක්ෂා කර ගැනීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් අවශ්‍ය බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 22 බ්‍රහස්පතින්දා පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ පැවති සාකච්ඡාවකදී පවසා ඇත්තේ.

දැනට ප‍්‍රබල ලෙස තර්ජනයට ලක්ව ඇති සහ අනාරක්ෂිත පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්ථාන හඳුනාගෙන ඒවා පුරාවිද්‍යා ස්ථාන බවට ප‍්‍රකාශයට පත් කිරීමේ කඩිනම් වැඩසටහන් පිළිබඳව එහිදී සාකච්ඡාවට ලක්ව තිබේ.

මෙහිදී ජනාධිපතිවරයා විශේෂ අවධානය යොමු කොට ඇත්තේ උතුරු නැගෙනහිර පළාත වෙතය. ඒ පලාත්වල පුරාවස්තු රැකීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර නොගන්නා බවට බුද්ධ සාසන අමාත්‍යවරයා කළ චෝදනාව පුරාවිද්‍යා කොමසාරිස්වරයා විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

බුද්ධ ශාසන අමාත්‍යාංශය, සංස්කෘතික අමාත්‍යාංශය, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල නියෝජිතයන්ගෙන් සහ දිස්ති‍්‍රක් ලේකම්වරුන්ගෙන්, ප‍්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් සහ මහජනතාව නියෝජනය කරන කමිටුවක් මගින් මෙම වැඩපිළිවෙළ කි‍්‍රයාවට නැංවීම පිළිබඳව ද එහිදී අවධානය යොමු වු බව ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කරයි.

සියලු ජන කොටස්

මෙම වැඩපිළිවෙළ කි‍්‍රයාවට නැංවීමේදී සියලු ජන කොටස්වල සහභාගිත්වය ඒ සඳහා ලබා ගැනීමේ වැදගත්කම ද පෙන්වා දුන් ජනාධිපතිතුමා එහිදී සදහන් කර ඇත්තේ ජාති බේදයකින් තොරව ශ‍්‍රී ලාංකිකයන් ලෙස අපගේ අභිමානවත් අතීත උරුමයන් ආරක්ෂා කර ගනිමින් මතු පරපුරට දායාද කිරීම පිළිබඳ සියලු ජන කොටස් අතර ආකල්පමය සංවර්ධනයක් ඇතිකළ යුතු බවයි.

කෙසේවෙතත්, බොබසේ නායකයා සුපුරුදු ලෙස මුස්ලිම් විරෝධී ප්‍රකාශ සිදු කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමට මුස්ලිම් ආගමික නායකයකු සාකච්ඡා සභාවේ සිටියේදැයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැහැදිලි කර නැත.

පුරාවිද්‍යා චක‍්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් විසින් රචිත ‘ගලේ කෙටූ අකුරු කෘතිය’ සහ සංයුක්ත තැටිය ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වු බව ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩි දුරටත් සදහන් කරයි.

අමාත්‍යාංශ ලේකම්වරුන් සහ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක ඇතුළු නිලධාරීන් පිරිසක්ද මෙම සාකච්ඡාවට එක්ව තිබේ.

Related posts

Comments are closed.

Top