රවිරාජ් තීන්දුව: “රාජ්‍ය ත්‍රස්තවාදයට ත්‍රස්ත නීති වලංගු නැද්ද?”| VIDEO

හිටපු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනයේ චුදිතයන් නිදහස් කළ නඩුව විභාග කිරීමට ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යොදා නොගැනීම ජ්‍යෙෂ්ට දෙමළ දේශපාලකයකුගේ ප්‍රශ්න කිරීමට ලක්ව තිබේ.

රජයේ ආරක්ෂක නිලධාරීන් සම්බන්ධ නඩු විභාග කිරීමට සාමාන්‍ය අපරාධ නීතිය යටතේ සර්ව සිංහල ජූරියක් යොදාගැනීම මගින් රවිරාජ් ඝාතනයේ චූදිතයන්ට නිදහස් වී යාමට මග පෑදූ බව ප්‍රකාශ කරන දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම් පෙන්වා දෙන්නේ එම ඝාතනය සඳහා රාජ්‍ය ත්‍රස්තවාදය යොදාගත් බවයි.

“දෙමළ අයට විරුද්ධව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත පාවිච්චි කරනවා. රජයේ අයට මුකුත් නෑ කියා පැහැදිලියි,” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේ ගගන වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි.

දේශපාලන වශයෙන් සංවේදී නඩු විභාගයකදී ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සම්බන්ධයෙන් තීන්දුවක් දීමට ජූරියක් පත් කරගැනීම නීතියට පටහැනි බව පෙන්වා දුන්නත්, අධිකරණය තම තර්කය ඉවත ලූ බව නඩරාජා රවිරාජ් පවුලේ සාමාජිකයන් වෙනුවෙන් නීතිඥවරයකු වශයෙන් පෙනීසිටි දෙජාස මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් මීට ඉහතදී පවසා සිටියේය.

ඔහු මෙන්ම සිවාජිලිංගම් මන්ත්‍රීවරයාත් පෙන්වා දෙන්නේ විනිසුරු කට්ටුවක් විසින් එම නඩු විභාගය සිදු කෙරුනේ නම් යුක්තිය ඉටුවීමේ වැඩි ඉඩක් තිබුනු බවයි.

සර්ව සිංහල ජූරියක් විසින් මේ වසර තුලදී නිදොස් කොට නිදහස් කර යවන ලද රජයේ ආරක්ෂක රැකියාවේ නිරත පළමු පිරිස රවිරාජ් ඝාතනයේ චූදිතයන් නොවන බවද ඔහු සිහිපත් කර දුන්නේය.

කුමාරපුරම් සමූහ ඝාතනය

විසි අවුරුද්දකට ඉහතදී ත්‍රිකුණාමලයේ, කිලිවෙඩ්ඩියේ කුමාරපුරම් ගමේ නිරායුද දෙමළ වැසියන් 26  දෙනකු වෙඩි තබා ඝාතනය කොට තවත් 26 දෙනකුට බරපතළ තුවාල සිදු කළ බවට චෝදනා ලබා සිටි යුද හමුදා සාමාජිකයන් හය දෙනකු අනුරාධපුර මහාධිකරණය විසින් ඉකුත් ජූලි මාසයේ නිදොස් කොට නිදහස් කර යවන ලද්දේ ද සර්ව සිංහල ජූරියක නිගමනය පරිදිය.

රවිරාජ් ඝාතනයේදී මෙන්ම සාක්ෂිකරුවන් සිසින් චූදිතයන් හඳුනාගෙන තිබුනත් සිංහල කතා කරන ජූරියක් විසින් ඔවුන් නිදහස් කොට යවන ලද බව සිවාජිලිංගම් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

“පෙන්නලා තිබුනා, නම කියලා තිබුනා, අහවල් කඳවුරේ වැඩ කරන්නේ කියලා තිබුනා,” වුවත් යුක්තිය ඉෂ්ඨ වුයේ නැති බවට ඔහු චෝදනා කළේය.

ජාත්‍යන්තර පරීක්ෂණයක්

දෙමළ ඝාතන සිදුවීම් දෙකක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අධිකරණය විසින් දී ඇති එම තීන්දු නිසා යුද අපරාධ සහ දෙමළ ජනසංහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් වෙනුවෙන් කෙරෙන ඉල්ලීම යුක්ති සහගත බවයි එම් කේ සිවාජිලිංගම් දැඩි කොට කියා සිටින්නේ.

ශ්‍රී ලංකාවේ යුද්ධයේ සිදුවූ අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට කෙරෙන බලපෑම ඉදිරියේදී වඩාත් ශක්තිමත් වනු ඇති බවට රවිරාජ් නඩු තීන්දුවත් සමග ආණ්ඩුවේ අමාත්‍ය වරුන් මෙන්ම රජය බලයට පත් කිරීමට වෙහෙස වුනු බහුජන සංවිධාන ද අනතුරු අඟවා තිබුනි.

Related posts

Comments are closed.

Top