“ඔලුවෙන් හිටගෙන හිටියත්” මහින්දට සුලු ජාතික ඡන්ද නෑ | VIDEO

 

පසුගිය ජනාධිපතිවරනයේදී මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ සිංහල බෞද්ධ සංවිධාන දෙකක් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

පාර්ලිමේන්තුව ඉදිරිපිට වසරක කාලයක් ඔලුවෙන් සිටිගෙන සිටියත් හිටපු ජනාධිපතිවරයාට සුලු ජාතීන්ගේ ඡන්ද නොලැබෙන බව සිංහල රාවය ජාතික සංවිධානයේ මහ ලේකම් හිමියෝ පවසති.

එබැවින් බොරු තොරතුරු සපයන පිරිස් වෙතින් ආරක්ෂා වන ලෙසයි මාගල්කන්දේ සුදත්ත හිමියන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා සිටින්නේ.

සිංහල රාවය මහ ලේකම් හිමියන් ඒ බැව් සදහන් කළේ හිටපු ජනාධිපතිවරයා විසින් බොදු බල සේනා නායක හිමියන් සහ එම සංවිධානය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් පිළිබදව පිළිතුරු සැපයීමට බොදු බල සේනා සංවිධානය විසින් 02 සදුදා කොළඹදී පැවැත්වු මාධ්‍ය හමුවකදීය.

අලුත්ගම ප්‍රහාරය

තමා පසුගිය මැතිවරණයෙන් පරාජය කිරීම සදහා බොදු බල සේනා සංවිධානයත්, එහි නායකහිමියනුත් කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළ බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ශ්‍රී ලංකාවේ විදේශීය මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කර තිබුනි.

එහිදී හිටපු ජනාධිපතිවරයා විසින් චෝදනා කරන ලද පරිදි 2014 ජූනි මාසයේ අලුත්ගම ප්‍රහාරය බොබසේ විසින් දියත් කරන ලද්දේ මුස්ලිම්වරුන් ඔහු හා අමනාප කරවීමටයි.

බොදුබල සේනා සංවිධානයේ විධායක නිලධාරී ඩිලන්ත විතානගේ ප්‍රතිචෝදනා නගමින් මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ මහින්ද රාජපක්ෂ හා එක්ව සිටින පිරිසක් අලුත්ගම මුස්ලිම් විරෝධී ප්‍රහාරය සිදුකළ බවට තමන් සතුව සාක්ෂි ඇති බවයි.

ජාතිකවාදී නරිහම

එක් එක් අයගේ කේලාම් අසමින් ඔවුන් විසින් දෙන වැරදි තොරතුරු ලබාගනිමින් කටයුතු කිරීම හිටපු ජනාධිපතිවරයා පසුගිය මැතිවරණයෙන් පරාජය වීමට හේතුව බවයි මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසා සිටියේ.

දේශපාලන බලය වෙනුවෙන් “ජාතිකවාදී නරිහම පොරවාගත් නරි කියන දේ අසා” නැවත වරක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඔහු සතුව සමාජයේ තිබෙන හොඳ මතවාදය නැවත වතාවක් ආපස්සට හරවා ගන්නට කටයුතු කරමින් සිටින බවද එහිමියෝ වැඩිදුරටත් සදහන් කළහ.

Related posts

Comments are closed.

Top