ඡන්ද කල් දැමීමේ “එජාප-ශ්‍රීලනිප කුමන්ත්‍රණයක්” ගැන චෝදනා

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා විසින් සීමා නිර්ණය කමිටු අවසන් වාර්තාව ප්‍රතික්ෂේප කර තිබීම හෙලා දකින මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් එජාපය හා ශ්‍රීලනිප පළාත් පාලන මැතිවරණ කල් දැමීමේ ලැජ්ජා සහගත කුමන්ත්‍රණයක නිරත වන බැවින් මැතිවරණ දිනාගැනීමට දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන එක් විය යුතු බව අවධාරණය කරයි.

එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන සීමා නිර්ණය කමිටු නියෝජිතයන් හරහා පලාත් පාලන මැතිවරණය කල් දමා ගැනීමේ “ලැජ්ජා සහගත” උත්සාහයකට ප්‍රවිශ්ඨ වී ඇති අතර ෆයිසර් මුස්තාපා අමත්‍යවරයා ඒ සදහා “අවමන් සහගත” වැඩපිළිවෙලක නිරත වෙමින් සිටින බවයි සාධාරණ මැතිවරණයක් සදහා වු ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.‍

අත්සන් අඩු වාර්තාවක්

02 සදුදා සවස 2.30 ට සීමා නිර්ණය කමිටුව සිය වාර්තාව පළාත් පාලන හා පලාත් සභා අමාත්‍යවරයා වෙත බාරදීමට නියමිතව තිබු නමුත් එම වාර්තාව බාර ගැනීම ෆයිසර් මුස්තාපා අමත්‍යවරයා විසින් ප්‍රතිකේෂප කර තිබේ.‍

එයට හේතු වශයෙන් ප්‍රකාශ වී ඇත්තේ සීමා නිර්ණය කමිටුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අදාළ කමිටුව සඳහා පත් කළ හිටපු ආණ්ඩුකාර සාලිය මැතිව් සහ එක්සත් ජාතික පක්ෂයෙන් පත් කළ ජ්‍යෙෂ්ඨ නීතීඥ එස්.මිස්බා යන අය අදාළ සීමා නිර්ණය අවසන් වාර්තාවට අත්සන් තබා නොමැතිවීමයි.

 

 

එජාප නායක රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන ගේ සෘජු මැදිහත්වීම නොවේ නම් ඔවුන් නායකත්වය ලබා දෙන දේශපාලන පක්ෂ මෙලෙස සීමා නිර්ණ කමිටු වාර්තාවට අත්සන් තැබීම අතපසු කරන්නේ නැති බවයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් විසින් 02 සදුදා හවස නිකුත් කළ පුවත්පත් නිවේදනයක දැක්වෙන්නේ.

2016 අගෝස්තු සිට මේ දක්වා අවස්ථා පහක දී සිමා නිර්ණය කමිටුවේ කටයුතු අවසන් කිරීම දේශපාලන අවශ්‍යතා මත මේ වන විට අතපසු කොට ඇති බව එම නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.

මේ වන විට එජාපය හා ශ්‍රීලනිප ට අවශ්‍යව ඇත්තේ පළාත් පාලන මැතිවරණය කල් දමා ගැනීමට බව ප්‍රකාශ කරන කැෆේ විධායක අධ්‍යක්ෂවරයා පෙන්වා දෙන්නේ පළාත් පාලන විෂය භාර අමත්‍යවරයා සහ සීමා නිර්ණය කමිටුවේ සාමාජිකයන් දෙදෙනකු හරහා මේ සැලසුම ක්‍රියාත්මක වී ඇති බවයි.

මැතිවරණ කල් දැමීමේ රජයේ ප්‍රතිපත්තිය නිසා මේ වන විට පලාත් පාලන අර්බුද රැසකට යොමුව ඇති අතර ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ අනු දැනුම සහිතව පලාත් පාලන මැතිවරණය කල්දමා ගැනීමට මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක සිදු කරනු ලබන ලැජ්ජා සහගත උත්සාහය පරාජය කිරීමට මෙරට දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන පෙරමුණ ගත යුතු යැයි කැෆේ සංවිධානය විසින් නිකුත් කළ නිවේදනයේ තවදුරටත් සඳහන්ය.

Related posts

Comments are closed.

Top