සංහිඳියා වාර්තාව ගැන රජය කුමක් කරනු ඇතිදැයි කමිටුව දන්නේ නෑ| VIDEO

යුද පීඩිතයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා මහජන අදහස් විමසීමෙන් පසු රජයට බාර දුන් සංහිඳියාව උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ වාර්තාව සම්බන්ධයෙන් රජය ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි නොදන්නා මුත් එම වාර්තාව රජයට සාධනීය පියවර ගැනීමට බලකිරීමක් සිදුවේතැයි එම කමිටුව විශ්වාසය පල කරයි.

සංහිඳියාව උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය විසින් සම්පාදනය කර ඇත්තේ විශේෂයෙන්ම වින්දිතයන්ගේ අදහස් අන්තර්ගතවු වාර්තාවක් බවයි එම කමිටුවේ සාමාජික ගත් කතුවර ගාමිණි වියන්ගොඩ පවසන්නේ.‍

රජයත් ජනතාවත් සමග ‘එකවර ගනුදෙනුවක්’

එම වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීම රජය සමග මෙන්ම ජනතාව සමග එකවර සිදුකළ ගනුදෙනුවක් ලෙස ඔහු පවසා සිටියේ ජනවාරි 3 දින එම කමිටුව විසින් රජයට බාර දුන් වාර්තාව සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සදහා 5 බ්‍රහස්පතින්දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදිය.

ඒ හේතුවෙන් එම වාර්තාව පලදායි බවට විශ්වාසය පල කළ ගාමිණි වියන්ගොඩ මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේ ඒ සම්බන්ධයෙන් සංවාදයක් ගොඩ නගන ලෙසයි.

රජයට ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් විවිධ වු පටු දේශපාලන පරමාර්ථ පෙරදැරිව එක් එක් අර්ථකථන මේ වන විට ඉදිරිපත් වෙමින් තිබෙන බැවින් යම් යම් කණ්ඩායම් ඒ පිළිබදව සම්පුර්ණයෙන්ම නිශේධනාත්මකව අදහස් ඉදිරියේදී රටට දීමට පටන් ගැනීමට හැකි බවටද ඔහු අනතුරු ඇගවීය.

කෙසේ නමුත් යුද පීඩිතයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා මහජන අදහස් විමසීමට රජය විසින් පත් කරන ලද සංහිඳියාව සඳහා වන කමිටුව අධිකරණ ක්‍රියාදාමය පිළිබඳව දුන් ප්‍රධාන නිර්දේශයක් එය ලබාගත් දාට පසු දිනම රජය විසින් එකහෙලා ප්‍රතික්ෂේප කර තිබුණි.

රටේ ජාතීන් අතර සහජීවනය ඇති කිරීමට සහ එම සහජීවනය මත පදනම් වු කිසියම් විසඳුමකට ලගා වීම සදහා සංහිඳියා කමිටුවේ වාර්තාව මෑත කාලීනවම උපස්ථම්භක වනු ඇති බවට ඔහු විශ්වාසය පල කළේය.

එම මාධ්‍ය හමුව සදහා සංහිඳියා යාන්ත්‍රණ උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායයේ ප්‍රධානී අධිනීතිඥ මනෝරි මුත්තෙට්ටුවගම සමග සෙසු සාමාජිකයන් කිහිප දෙනෙක්ම එක්ව සිටියහ.

 
ජනතාව අතර සමඟිය, සාමය, දයාව සහ සහෝදරත්වය වැඩිදියුණු කිරීම අරමුණ කරගෙන රජය විසින් පත් කළ එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, ගාමිණි වියන්ගොඩ, කේ ඩබ් ජනරංජන, මහාචාර්ය දයා සෝමසුන්දරම්, විශාකා ධර්මදාස, ශාන්තා අභිමානසිංහම්, මහාචාර්ය චිත්‍රලේඛා මෞනගුරු, ආචාර්ය ෆර්සානා හනිෆා, මහාචාර්ය ගමීලා සමරසිංහ සහ මිරාක් රහීම් කටයුතු කළේය.

 

Related posts

Comments are closed.

Top