නව ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව මානව හිමිකම් ක්‍රියාධාරීහු පෙළ ගැසෙති | VIDEO

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන බවට පොරොන්දු වෙමින් බලයට පත් ආණ්ඩුව ඊටත් වඩා ජනතාවට පීඩාකාරී  බරපතල නීති ගෙන ඒමට උත්සාහ දරන බවට මානව හිමිකම් ක්‍රියාකාරීහු චෝදනා කරති.

එක්සත් ජාතීන්ගේ සංවිධානයද ඇතුළු දේශීය හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වල දැඩි විරෝධය හමුවේ දැනට පවත්නා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඉවත් කර ගැනීමට කටයුතු කරන ආණ්ඩුව ඒ වෙනුවට ත්‍රස්ත විරෝධී නව පනතක් කෙටුම් පත් කොට තිබේ.

යෝජිත නව පනතට අනුව පොලිස් ස්ථානාධිපතිට පවා තවත් මර්දනකාරී බලතල පැවරෙන බවයි මානව හිමිකම් ක්‍රියාධාරීන් පෙන්වා දෙන්නේ.

රාජ්‍යයට එරෙහි සෑම නැගීටීමක්ම යටපත් කිරීමේ හැකියාව නව පනත සතුව පවතින බව මානව හිමිකම් ක්‍රියාධර ප්‍රසංග ප්‍රනාන්දු කියා  සිටියේ නව පනතේ බරපතලකම  සම්බන්ධයෙන් 6 සිකුරාදා කොළඹ පැවැත්වු සාකච්ඡාවකින් පසු අදහස් දක්වමිනි.

මානව හිමිකම් හා සංවර්ධන මධ්‍යස්ථානය (CHRD) විසින් සංවිධානය කර තිබු  එම සාකච්ඡාව සදහා උතුරු, නැගෙනහිර මෙන්ම දකුණෙන්ද විශාල පිරිසක් සහභාගි  වු බවද ඔහු ගගන හා කියා සිටියේය.

ඉදිරියේදී  මතුවන ප්‍රජාතන්ත්‍රවාදී සටන් මර්දනය කිරීම සඳහා දැරෙන උත්සාහයක් ලෙස යෝජිත පනත හැදින්වු ඔහු අවධාරණය කළේ සියලු ජාතීන්ගේ එකමුතුවෙන් බලයට පත් කළ ආණ්ඩුව ගෙන එන නොහොබිනා පනත් පලවා හැරීමට ද සියලු ජනතාව එකතු විය යුතු බවයි.

පුද්ගලික පලිගැනීම්

යෝජිත  පනතේ අඩංගු  බලගතු තත්වය යටතේ පුද්ගලික  පලිගැනීම් වලට පවා ජනතාව  ලක් විය හැකි බවයි දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ ව්‍යපාරයේ මෙන්ම අතුරුදහන්වුවන් සොයාබැලීමේ කමිටුවේ කැදවුම්කාර සුන්දරම් මහේන්ද්‍රන් පවසන්නේ.

දෙමළ භාෂාව කතා කරන ජනයාට පමණක් නොව සියලු ශ්‍රී ලංකා වාසීන්ට අසාධාරනයක් වන පනතක්  ලෙස එය  හැඳින්වූ ඔහු අවධාරණය කළේ සියලු ජාතීන් එක්ව එම පනත පරාජයට පත් කළ යුතු බවට අද දිනයේ රැස්වූ මානව හිමිකම් ක්‍රියාධරයන් සියලු දෙනාගේ මතය වු බවයි.

 

 

Related posts

Comments are closed.

Top