විදේශීය විනිසුරුවන් යොදා නොගැනීමට එක්සත් ජාතීන් එකඟ වී නෑ

විදේශීය විනිශ්චයකරුවන් ඇතුලත් කර නොගැනීම සඳහා එකඟතාවක් ඇති බවට ශ්‍රී ලංකා රජය කරන ප්‍රකාශය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ශ්‍රී ලංකාවේ යුද පීඩිතයන්ට යුක්තිය ඉටු කිරීම සම්බන්ධයෙන් විදේශීය විනිශ්චයකාරවරුන් හවුල් කරගැනීම නිර්දේශ කරමින් සංහිඳියාව උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය විසින් මේ සතියේ එලි දක්වන ලද වාර්තාව අගයමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය විශේෂයෙන් ප්‍රශංසා කොට ඇත්තේ “දේශීය හා විදේශීය විනිශ්චයකාරවරුන්ගෙන් සමන්විත දෙමුහුන් අධිකරණයක් වෙනුවෙන් සහාය දැක්වීම,” ගැනයි.

“යුද අපරාධ චෝදනා ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලංඝන පරීක්ෂා කෙරෙන අධිකරණ යාන්ත්‍රණයට එක් විදේශීය විනිසුරුවකු හෝ සම්බන්ධ විය යුතු බව,” සංහිඳියා කමිටු වාර්තාවේ  මූලික නිර්දේශයකි.

කාර්ය සාධක බලකායේ ප්‍රධානී ආචාර්ය මනෝරි මුත්තෙට්ටුවේගම විසින් දෙන ලද වාර්තාව රජය වෙනුවෙන් භාරගත්තේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගයි.

රාජිත සේනාරත්න

එම නිර්දේශය තරයේ ප්‍රතික්ෂේප කරමින් රජයේ ප්‍රධාන නිල ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියා සිටියේ කිසිදු විදේශීය විනිසුරුවකු හවුල් කර නොගැනීමේ රජයේ ප්‍රතිපත්තියට එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා එකඟතාව පල කර ඇති බවයි.

“ඒ කියන්නේ විදේශ විනිසුරුවෝ ඔබතුමන්ලා කොහොමත් අනුමත කරන්නේ නෑ?” යනුවෙන්  මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට ඇමැතිවරයා පිළිතුරු දුන්නේ, “නෑ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතවරුත් එකට එකඟතාව පළ කරලා තියෙනවනේ. මෙතෙන්ට ආපු අල් හුසේනුත් ඒකට එකඟතාව පළ කළානේ,” යි පවසමිනි.

රජය එක්සත් ජාතීන් සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශය පසුදාම බැහැර කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම දැඩි සේ කියා සිටියේ ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන භාගයේ සිදුවූ ජාත්‍යන්තර පරිමාණ අපරාධ විභාග කිරීම සඳහා විදේශීය විනිසුරන් දායක කරගැනීම මහ කොමසාරිස් වරයා දැරූ නොවෙනස් ප්‍රතිපත්තිය බවයි.

දෙමුහුන් අධිකරණයක්

“ශ්‍රී ලංකාවේ දෙමුහුන් අධිකරණයක් පිහිටුවිය යුතු බව සෙයිඩ් සැමදාමත් ඉතා ඕනෑකමින් ඉල්ලා තිබේ,” යි මහ කොමසාරිස් කාර්යාලය සිය නිල ට්විටර් සමාජ ජාලය මගින් දන්වා තිබුනේ ඉකුත් ජූනියේ කළ ප්‍රකාශයකට අවධානය යොමු කරවමිනි.

යුද අපරාධ සම්බන්ධයෙන් අනාගතයේ යම් යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණයක් පිහිටුවනු ලබන්නේ නම්,  එහි පූර්ණ හෝ බහුතර නියෝජනය ජාත්‍යන්තර මට්ටමින් තෝරාගත යුතු බව දේශීය යාන්ත්‍රණයක් කෙරේ විශ්වාසයක් නැති උතුරු නැගෙනහිර යුද පීඩිත ජනකාය අතරින් වැඩි පිරිසක් ඉල්ලා සිටි බව ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ ලේකම් ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මීට ඉහතදී ගගන හා කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ නොහැකියාව

අගමැතිවරයා විසින් පත් කරන ලද සංහිඳියා බලකාය මෙන්ම, එක්සත් ජාතීන්ගේ සංවිධානයද විදෙස් විනිසුරුවන් නිර්දේශ කොට තිබුනේ යුද අපරාධ සම්බන්ධයෙන් නඩු විභාග කිරීම සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම සහ හැකියාව නොමැති කමත් පීඩිතයන්ගේ අවශ්‍යතා හඳුනා ගැනීමේ නොහැකියාවත් හේතු ලෙස දක්වා තිබුනි.

කෙසේ වෙතත්, රජය දිගටම දැරූ දැඩි ස්ථාවරය වූයේ ‘රණවිරුවන්’ ලෙස හඳුන්වනු ලබන යුද සේනා විසින් යුද්ධයේදී සිදුකළ කටයුතු විභාග කළ යුත්තේ දේශීය විනිසුරුවන් පමණක් බවයි.

මානව හිමිකම් මණ්ඩලය ශ්‍රී ලංකාවද හවුලේ සම්මත කරගත් යෝජනාව යුද අපරාධ විභාගය කෙරෙන ශ්‍රී ලාංකික අධිකරණ යාන්ත්‍රණයට “විශේෂ නීතිඥ වරයකුගේ කාර්යාලයක්, පොදුරාජ්‍ය මණ්ඩලය සහ වෙනත් විදේශීය විනිසුරුවරුන්, විත්තියේ නීතිඥවරුන් සහ අභිචෝදකයන් සහ විමර්ශකයන්,” ඇතුලත් විය යුතු බව සඳහන් කරයි.

Related posts

Comments are closed.

Top