රජයේ ආධාරකරුවන් සහ ආණ්ඩු විරෝධීන් අතර හම්බන්තොට ගල් මුල් ප්‍රහාර | VIDEO

දකුණු පළාතේ විදේශීය ආයෝජන කලාපයකට මුල පිරීමේ උත්සවයක් පැවැත්වෙද්දී ඊට විරෝධය පෑ රාජපක්ෂ හිතවාදීන් සහ ආණ්ඩුවේ ආධාරකරුවන් අතර ගැටුමකට පොලිසිය පහර දුන් අතර තුවාල ලද විස්සකට වැඩි පිරිසක් රෝහල් ගත කොට තිබේ.

ගැටුම් හටගත්තේ අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ, අම්බලන්තොට මිරිජ්ජවිල දක්ෂිණ සංවර්ධන සමාරම්භක උත්සවය පැවැත්වෙද්දීය.

භුමිය චීනයට විකුණා රටේ සම්පත් පෞද්ගලිකරණයක් ලෙස හඳුන්වමින් ඊට එරෙහිව චමල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරුන්ගේ මෙහෙයවීමෙන් සංඝයා වහන්සේ ද මුල්කොටගෙන පැමිණි විරෝධතා කරුවන් සහ රජයේ ආධාර කරුවන් අතර ගල් මුල් ප්‍රහාර හුවමාරු වනු දැක ගන්නට ලැබුනි.

උසාවි තහංචියක් බිඳිමින් උත්සව භූමියට පෙළපාලියෙන් යමින් සිටි සිය ගණනක් විරෝධතාකරුවන් හට ආණ්ඩුවේ ආධාරකරුවන් ගල් ගැසූ අතර පෙලපාලිකරුවන් විසින්ද පෙරලා ගල් වලින් පහර දුන් බව වාර්තා කරුවෝ  පවසති.

පොලිස්පති පැමිණේ

පොලිස්පති පූජිත ජයසුන්දර ගේ ප්‍රධානත්වයෙන් පැමිණ සිටි පොලිසිය හා විශේෂ කාර්ය සාධක බලකාය විසින් ගැටුමේ යෙදී සිටියවුන් වෙතට කඳුළු ගෑස් හා ජල කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන ලදී.

තුවාල ලද පිරිස් අතර පොලිස් භටයන්ද සිටින බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

ගැටුම පැවතියත් අගමැතිවරයා විසින් දක්ෂිණ සංවර්ධන කලාපයට මුල පුරන ලද අතර ඊට සහභාගිවූ ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියන් ප්‍රකාශ කළේ ඉදිරි වසර පහ තුලදී කලාපයට ඩොලර් බිලියන පහක් ආයෝජනය කරන අතර එමගින් රැකියා ලක්ෂයක් සම්පාදනය කෙරෙනු ඇති බවයි.

චීන කොලනියක්

මේසා දැවැන්ත ආයෝජනයකට ඉඩ සැලසීම සඳහා ඉඩම් අක්කර පහළොස්දහසක් හම්බන්තොටින් පවරා ගැනීම මගින් ප්‍රදේශය “චීන කොලනියක්” වනු වැළක්විය නොහැකි බව විරෝධතාකරුවෝ පවසති.

තමන්ද සිටි පසුගිය ආණ්ඩුව අක්කර දහස් ගණනින් ඉඩම් පවරා ගනිද්දී ඊට එරෙහි නොවූ බවට උත්සව සභාව ඇමතූ රාජිත සේනාරත්න අමාත්‍යවරයා විරෝධතාකරුවන් දැඩි දෝෂ දර්ශනයට ලක් කළේය.

හම්බන්තොටින් පවරාගනු ලබන්නේ ඉඩම් අක්කර 1200ක් පමණෙකැ’යි කී අමාත්‍යවරයා කියා සිටියේ මොනරාගලින් අක්කර 7200ක් සහ මාතරින් අක්කර 200ක් වශයෙන් ගනු ලබන ඉඩම් වලට අමතරව තවත් ඉඩම් අක්කර 4000ක් පවරාගෙන අනූනම අවුරුද්දට බදු දෙනු ලබන බවයි.

ජනතාවට රැකියා සම්පාදනය රජයේ වගකීමක් බව කී අගමැතිවරයා විරෝධතා කරුවන් “සංවර්ධනයට විරුද්ධ වීම” ගැන විමතිය පල කළේය.

රජයේ වගකීම ඉටු නොකර “ජාතිවාදය ඇදලා කෑ ගහලා පලක් වෙන්නේ නැහැ’යි,” අගමැති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් පැවසීය.

Related posts

Comments are closed.

Top