“හමුදා බුද්ධි අංශය තවමත් රාජපක්ෂ මෙහෙයුම යටතේ” සන්ධ්‍යා

රටේ ආණ්ඩු මාරුවක් වී දෙවසරක් ගතව තිබුනත් යුද හමුදා බුද්ධි අංශ තවමත් පවතින්නේ රාජපක්ෂ තන්ත්‍රය යටතේ බව ඉකුත් රාජ්‍ය පාලනය යටතේ සිය සැමියා අතුරුදහන් කෙරුනු සන්ධ්‍යා එක්නැලිගොඩ පවසයි.

රාජපක්ෂ පාලනය යටතේ ඝාතනයටත්, අතුරුදහන් කිරීමටත් ගොදුරු වුනු අය සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොවීමට හේතුව ලෙස ඇය විසින් එය මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කරනු ලැබුවේ ඝාතනයෙන් අට වසරක් ගතවීත් යුක්තිය ඉටු නොවූ සන්ඩේ ලීඩර් ආරම්භක කතුවර ලසන්ත වික්‍රමතුංග වෙනුවෙන් බොරැල්ල කනත්තේ පැවති සමරුවට සහභාගි වෙමිනි.

“රාජපක්ෂ රෙජීමය හමුදා බුද්ධි අංශ හරහා තමයි මේ අපරාධ සිද්ධ කරන්නේ. අදත් මේ බුද්ධි අංශය රාජපක්ෂ රෙජීමය විසින් මෙහෙයවන බව තමයි මට පැහැදිලිව ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ,” යි සන්ධ්‍යා එක්නැලිගොඩ චෝදනා කර සිටියාය.

ලසන්ත මෙන්ම මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් සම්බන්ධයෙන්ද යුක්තිය ඉටු නොවන්නේ එම අපරාධ සිදු කෙරෙන්නේ “එකම ආයතනයකින්, එකම තැනකින්” නිසා බවයි ඇය කියා සිටින්නේ.

මිනිසුන්ට ජීවත් විය හැකි රටක්

“ප්‍රගීත්ටත්, ලසන්තටත්, රවිරාජ්ටත් යුක්තිය ඉටු වුනොත් විතරයි මේ රට මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් රටක් වෙන්නේ,” යි සන්ධ්‍යා එක්නැලිගොඩ අවධාරණය කළාය.

ලසන්ත වික්‍රමතුංගගේ ඝාතකයන්ට හැකිනම් නීතිය හමුවට පමුණුවා දඬුවම් කරන ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අභියෝග කළ අයුරු මෙහිදී සිහිපත් කරදුන් මාධ්‍යවේදිනී මන්දනා ඉස්මායිල් අබේවික්‍රම පෙන්වා දුන්නේ එවක හමුදාපති හෝ ආරක්ෂක අංශ ප්‍රධානීන් හෝ පරීක්ෂණ වලට කැඳවා නැති බවයි.

“බාධා පැමිණීම” නිසා පරීක්ෂණ වල ප්‍රගතියක් නොමැතිවීම ගැන කණගාටුව පල කළ සමරුවට සහභාගිවූ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ඒ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කිරීමට සහතික වුවත් එය ඉකුත් දෙවසර තුලදීම ලැබුනු පලක් නොවුනු ප්‍රතිචාරය බව මන්දනා ප්‍රකාශ කළේ මහත් කම්පාවෙනි.

තමන්ගේත් සහයෙන් බලයට පත් යහපාලන දේශපාලකයන් “ගිය අවුරුද්දෙත් කළේ මල් පහන් පුජා කරලා වොයිස් කට් දීලා යාම,” බව ඇය චෝදනා මුඛයෙන් පැවසුවාය.

2009 ජනවාරි 8 වැනිදා සිය නිවසේ සිට සන්ඩේ ලීඩර් කාර්යාලයට යමින් සිටි ලසන්ත වික්‍රමතුංග පසු පස ලුහු බැඳි ඝාතකයන් විසින් රත්මලාන ආසන්නයේ අධි ආරක්ෂක කලාපයක මහ මඟදී ඔහු ඝාතනය කෙරිනි.

Related posts

Comments are closed.

Top