විමල් ගිය මග රනිල් යවන බවට අනතුරු ඇඟවීමක් | VIDEO

හිටපු ඇමැති විමල් වීරවංශ රිමාන්ඩ් ගත කරන ලද ආකාරයටම අගමැති රනිල් වික්‍රමසිංහද සිපිරිගෙට යවන බවට ජාතික නිදහස් පෙරමුණේ නායකයකු අනතුරු අඟවයි.

රජයේ වාහන අයථා ලෙස යොදා ගනිමින් කෝටි ගණනක පාඩු සිදුකළ බවට මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ගොනු කළ චෝදනා සලකා බැලූ අධිකරණය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංස ජනවාරි 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

ඔහු නිදහස් කරන ලෙස බලකරමින් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සිය ගණනක සහභාගිත්වයෙන් පැවති උද්ඝෝෂණයකදී ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියේ ඉක්මනින් ආණ්ඩුව පෙරලා අගමැති රනිල් වික්‍රමසිංහ සිරගත කරන බවයි.

සිය පක්ෂ නායකයා තුන් මසක් සිර කොට ඇත්තේ අගමැතිවරයා දුන් නියෝගයක් ප්‍රකාර යයි දිසානායක මන්ත්‍රීවරයා චෝදනා කරයි.

වාහන අයථා ලෙස යොදාගත් බවට ඉංජිනේරු සංස්ථාවේ හිටපු සභාපතිවරයා දුන් කටඋත්තරයක් අනුව ඇමැතිවරයා සිරගත කොට ඇති සේම මහ බැංකුවේ කෝටි ගණනක වංචාවක් සිදු කළ බවට පාර්ලිමේන්තු කමිටු වාර්තාවකින් වරදකරු කර ඇති මහ බැංකු අධිපති ට උපදෙස් දීම සම්බන්ධයෙන් අගමැතිවරයාද සිරගත කරන්නට සිදුවන බවට දිසානායක මන්ත්‍රීවරයා තර්ක කළේය.

“බලාගෙන ඉන්න වික්‍රමසිංහ මහත්තයෝ. මේ බෝලේ ආපහු බම්ප් වෙන්නේ ඔයාට,” යි ඔහු අභියෝග කළේය.

ආචාර්ය අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපතිව සිටි සමයේ බැඳුම්කර ගනුදෙනුවකට මැදිහත්වී රජයට අලාබ සිදු කිරීම ගැන නීතිමය පියවර ගත යුතු බවට නිර්දේශ කරමින් පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව ලබා දුන් වාර්තාව මේ වනවිට නීතිපති වෙත යවා ඇත.

මහබැංකු අධිපති වරයා කටයුතු කොට ඇත්තේ අගමැතිවරයාගේ උපදෙස් පරිදි බවට හිටපු මහ බැංකු අධිපතිවරයා විසින් දුන් ලිඛිත කට උත්තරයක් කෝප් වාර්තාවේ ඇතැයිද දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියේය.

 

Related posts

Comments are closed.

Top