පල්ලියක් විනාශ කර දැමීමෙන් පසු කිතු බැතිමතුන් බියෙන් | VIDEO

දශක එකහමාරකට වැඩි කලක් පවත්වාගෙන යනු ලැබූ දේවස්ථානයකට බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් සමගින් කඩා වැදුනු ප්‍රචණ්ඩකාරී පිරිසක් පහර දී විනාශ කර දැමීමෙන් අනතුරුව නිසි රැකවරණ නොලැබීම නිසා පුත්තලම දිස්ත්‍රික්කයේ ගමක ක්‍රිස්තියානි බැතිමතුන් පිරිසක් බියෙන් පසුවන බව ප්‍රදේශය භාර දේවගැති වරයා පවසයි.

කරුවලගස්වැව, පහරිය ප්‍රදේශයේ ක්‍රිස්තු රජාණන්ගේ දේවස්ථානය ජනවාරි පස් වැනිදා රාත්‍රියේ ගිනි තබා විනාශ කර දැමීමෙන් පසුව ප්‍රදේශයේ ආගමික කටයුතු නොපවත්වන ලෙස  පුත්තලම උප දිසාපතිවරයා ඇතුළු ඇතැම් සංවිධාන විසින් අනතුරු අඟවා ඇති බව කිතුසෙවන පුත්තල දිසාව භාර පාලිත රන්ජන් හේරත් දේවගැතිවරයා ගගන හා කියා සිටියේය.

ප්‍රහාරය මෙහෙයවීම සම්බන්ධයෙන් චෝදනා ලබන පහරිය ශ්‍රී ගෝතමී විහාරාධිපති  බලගොල්ලේ විමලරංසි හිමියන්ට සතියේ සෑම ඉරුදිනකම කරුවලගස්වැව පොලිස් ස්ථානයේ පෙනී සිටින ලෙසත්, තමන්ට පහරිය ප්‍රදේශයට ඇතුල් නොවන ලෙසත් පුත්තලම අධිකරණය විසින් නියෝග කොට ඇති බව කිතුසෙවන දේවගැතිවරයා පවසයි.

පොලිසිය තුළදීත් තර්ජන

හේරත් දේවගැති වරයා මහත් කනස්සලෙන් ගගන හා කියා සිටියේ උසාවි තහංචිය සහ පොලිසිය විසින් ප්‍රහාරකයන් කිසිවකුත් අත් අඩංගුවට නොගැනීම මෙන්ම උප දිසාපති වරයාගේ නියෝගයත් දේවස්ථානයේ දායකයන් ගේ බියට හේතුවී තිබෙන බවයි.

“ඔවුන්ගේ මානසිකත්වය ගැන ඔවුන්ගේ ඇදහිල්ල ගැන මේ වනවිට රාජ්‍ය ආයතන වලින් හෝ  නීතියෙන් හෝ සහනයක් නැහැ,” යි ඔහු පවසයි.

සතිපතා දේවස්ථානයට පැමිණෙන තමන්ගේ වාහනය ජනවාරි පළමුවැනිදා හරස්කළ සන්නද්ධ තරුණ පිරිසක් සමග පැමිණි විමලරංසි හිමියන් ඉදිරි කාලයේදී හානි කරන බවට කළ තර්ජනයක් පිළිබඳව පැමිණිලි කිරීමෙන් පසුව පොලිසිය විසින් දෙපාර්ශවයම කැඳවා ඇප මත මුදා හැරීමෙන් අනතුරුවත් දේවස්ථානය විනාශ කෙරුනු බවයි ඔහු කියා සිටියේ.

ප්‍රදේශයට නැවත පැමිණියහොත් හානි පමුණුවන බවට ඒ අවස්ථාවේ පොලිස් ස්ථානය තුළදීත් බලගොල්ලේ විමලරංසි හිමියන් තමන්ට තර්ජනය කළ බවට ඔහු චෝදනා කොට සිටියේය.

අවුරුද්දකට ඉහතදී

බහුතර මතයට යටවීම

දේවස්ථානය ට හානි පැමිණවීම සම්බන්ධයෙන් පොලිසිය මේතාක් කිසිවකු අත්අඩංගුවට ගෙන නැත.

තර්ජනය කළ අයට විරුද්ධව පොලිසිය පියවර නොගන්නේ රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන බහුතර ආගමික මතවාදයට යටවීම නිසා බව කිතුසෙවන වෙනුවෙන් මැදිහත්වූ නීතිවේදියා පවසයි.

“පොලිසිය ඒ ගමේම ජීවත්වන අපරාධකරුවන්ගේ නම් දන්නවා. ශ්‍රී ලංකාව ආගමික නිදහස ආරක්ෂා කිරීමට අසමත් වෙලා තියෙනවා. රටේ අධිපති කම දරන සිංහල බෞද්ධ  මතවාදය සුළුතර අදහස් පාගා දමනවා,” යි නීතිඥ ලක්ෂාන් ඩයස් මාධ්‍ය හා පවසා තිබුනි.

දේවස්ථානය කඩා බිඳ දැමීමෙන් පසුව දායකයන් දේව මෙහෙයට සහභාගි වන්නේ ගස් යට යැයි පැවසූ දේවගැති පාලිත හේරත්, ආගමික කටයුතු වලට අමතරව ප්‍රදේශයේ පෙර පාසල්, අතිරේක පන්ති, සෞඛ්‍ය සේවා හා පෝෂණ වැඩසටහන් පහළොස් වසරක් තිස්සේ පවත්වාගෙන ගිය කිතුසෙවනට එල්ලවූ ප්‍රහාරය ගැන ප්‍රදේශවාසීන් කම්පා වන බව කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ඉස්ලාම්, ක්‍රිස්තියානි සහ හින්දු භක්තිකයන්ට නිදහසේ සිය ආගම ඇදහීම සඳහා මේ ආණ්ඩුවේ පාලනය යටතේත් ඇති දුෂ්කරතාව ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය තැති ගැන්ම පල කොට තිබුනි.

“වන්දනාස්ථාන කෙලෙසීම, ආගමික මෙහෙයන් ට බාධා කිරීම සහ ආගමික සිද්ධස්ථාන ඉදි කිරීමට හෝ වෙනත් වාර්ගික ආගමික කණ්ඩායම් වෙනුවෙන් හෝ ප්‍රසිද්ධ සුසාන භුමි පවත්වාගෙන යාමට අවසර නොදීම,” සම්බන්ධයෙන් සිය බරපතල අවධානය යොමුවී ඇති බව වාර්ගික වෙනස්කම් පෑමට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව ඉකුත් ඔක්තෝබරයේ ශ්‍රී ලංකාව පිලිබඳ සිය වාරික විමර්ශනය අවසානයේ රජයට දැනුම් දී තිබුනි.

Related posts

Comments are closed.

Top