රටට හදන මානව හිමිකම් සැලසුමේ කෙටුම්පත “කොමිසමට දීලා නෑ”

රටේ මානව හිමිකම් රැකීම වෙනුවෙන් සකස් කරන ජාතික සැලසුමේ කෙටුම්පත මේතාක් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම වෙත ලබා දී නැතැයි එහි සභාපතිනිය ප්‍රකාශ කර තිබේ.

ඉදිරි හය අවුරුද්ද සඳහා වන “මානව හිමිකම් සුරැකීමේ හා ප්‍රවර්ධනය කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම” ට අඩංගු කොටස් කිහිපයක් කොමිසමේ නිරීක්ෂණය සඳහා එවා ඇති මුත් මේ සතියේ කැබිනට් මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ලද අවසන් කෙටුම්පත තවමත් දැක නැති බවයි මානව හිමිකම් කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම පවසන්නේ.

මේ වසරින් හමාර වන වර්තමාන මානව හිමිකම් සැලැස්ම වෙනුවට අලුතින් හඳුන්වා දෙනු ලබන්නේ වඩාත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ක්‍රියාකාරී සැලැස්මක් බව රජය ප්‍රකාශයට පත් කර තිබේ.

යුද අපරාධ සම්බන්ධයෙන් යාන්ත්‍රණ පිහිටුවීම සඳහා යෙදී සිටින විවිධ කටයුතු අතරින් එකක් ලෙසයි විදේශ අමාත්‍ය මංගල සමරවීර විසින් ජාතික ක්‍රියාකාරී සැලැස්ම ජාත්‍යන්තර වශයෙන් හඳුන්වා දෙනු ලබන්නේ.

කැබිනට් මණ්ඩලයට කෙටුම්පතක් භාරදී තිබෙන බව තහවුරු කරමින් අමාත්‍යවරයා ලන්ඩනයේ චැතම් මන්දිරයේ පැවති සම්මන්ත්‍රණයකදී කියා සිටියේ එම සැලසුම සකස් කොට ඇත්තේ සියලුදෙනා ඇතුලත් ප්‍රවිචාරණ කාර්යදාමයකින් අනතුරුව බවයි.

කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පළමු කළ යුතුව තිබුනේ එය විමර්ශනය කොට උපදෙස් දීම  සඳහා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම වෙත ලබා දීම බව පවසන ආචාර්ය දීපිකා උඩගම රාජ්‍ය පාලිත ඩේලි නිව්ස් පුවත්පතට කියා තිබුනේ තමන් එහි පිටපතක් විදේශ අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින බවයි.

“රජයේ බොහෝ ප්‍රතිපත්ති සම්බන්ධ කෙටුම්පත් අපට ලැබෙන්නේ නැති නිසා අපිටම ඒවා හොයා ගන්න සිද්ධ වෙලා තියෙනවා,” යි ඇය පවසා තිබේ.

සමලිංගිකත්වය

සමලිංගිකත්වය අපරාධයක් සේ සලකා දඬුවම් කිරීමට එරෙහිව ගෙන එන යෝජනා ‘සංස්කෘතිය’ පදනම් කොට බැහැර කිරීම ද මානව හිමිකම් කොමසාරිස්වරිය ගේ දෝෂ දර්ශනයට ලක්වී තිබේ.

ලිංගික බැඳියාව පදනම් කොටගෙන වෙනස්කම් නොකරනු ලැබීමේ අයිතිය ව්‍යවස්ථා ගත කළ යුතු බව අවධාරණය කරන ආචාර්ය දීපිකා උඩගම පවසන්නේ එම යෝජනාව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම විසින් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ද ඉදිරිපත් කොට ඇති බවයි.

Related posts

Comments are closed.

Top