දූෂණ චෝදනා ලබන හිටපු මහ බැංකු අධිපති තවමත් මහ බැංකුවේ

මහ බැංකු බැඳුම්කර සිද්ධියට චෝදනා එල්ලවී සිටින මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් යළි මුදල් අමාත්‍යංශයේ මහ බැංකු උපදේශකවරයෙක් ලෙස කටයුතු කරමින් සිටින බව දූෂණ විරෝධී පෙරමුණක් සදහන් කරයි.

බැඳුම්කර වංචාව පිළිබඳව විමර්ශනය කිරීම සදහා විශේෂ ජනාධිපති කොමිෂන් සභා පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ස්තුතිය පුද කරන දූෂණ විරෝධී පෙරමුණ පෙන්වා දෙන්නේ ප්‍රශ්නකාරී බැඳුම්කර සිද්ධියට චෝදනා එල්ලවී සිටින මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මුදල් අමාත්‍යාංශයේ මහ බැංකු උපදේශකයකු ලෙස මේ වන විට කටයුතු කරමින් සිටින බවයි.

අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපතිව සිටි සමයේ බැඳුම්කර ගනුදෙනුවකට මැදිහත්වීම ගැන නීතිමය පියවර ගත යුතු බවට නිර්දේශ කරමින් පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව ලබා දුන් වාර්තාව මේ වන විට නීතිපති වෙත යොමු කර තිබේ.

මුදල් අමාත්‍යවරයා විසින් සතියේ අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල මහ බැංකුවේ වත්මන් අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ආර්.පාස්කරලිංගම් සහ අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග සමග සවස 5 ට පවත්වනු ලබන රැස්වීමට මුදල් අමාත්‍යාංශය නියෝජනය කරමින් අර්ජුන් මහෙන්ද්‍රන් සහභාගි වී ඇති බවයි ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දුෂණ විරෝධී පෙරමුණ පෙන්වා දෙන්නේ.

නිතිපතා රැස්වීම්

ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහ බැංකු අධිපතිවරයා වශයෙන් පත් වූ පසුව මුලින් මෙම රැස්වීම සඳුදා සහ බ්‍රහස්පතින්දා සවස 5 ට ජූලි, අගෝස්තු සහ සැප්තෑම්බර් මාස වල දී පවත්වනු ලැබු අතර ඉන් පසුව, මෙම රැස්වීම අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා සවස 5 ට සිරිතක් ලෙස මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්වු බවත් අවසන් වශයෙන් මෙම රැස්වීම පැවැත්වුයේ 2017 ජනවාරි 6 දින පෙ.ව. 11 ට මුදල් අමාත්‍යාංශයේ දී බවයි එම ලිපිය මගින් දුෂණ විරෝධී පෙරමුණ වෙනුවෙන් උලපනේ සුමංගල හිමි සහ රජිත් කීර්ති තෙන්නකෝන් පෙන්වා දී ඇත්තේ.

 

 
ඉහත රැස්වීමේ දී සිරිතක් ලෙස අර්ජුන් මහේන්ද්‍රන් වත්මන් බැංකු අධිපති කුමාරස්වාමි වෙත ශ්‍රී ලංකා මුල්‍ය මණ්ඩලය විසින් ගත යුතු තීන්දු සහ තීරණ සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම සිදු කර ඇති අතර මෙය ශ්‍රී ලංකා බැංකු පනතේ විධිවිධාන උල්ලංඝනය කිරීමක් වන බැවින් අල්ලස, දූෂණය වංචාව මැඩලීම සදහා වත්මන් යහපාලන රජයේ කැපවීම වචනයෙන් නොව ක්‍රියාවෙන් ඔප්පු කළ යුතු කාලය දැන් එළැඹ ඇතැයි එම ලිපිය මගින් ඔවුන් අවධාරණය කර තිබේ.

 

“තවමත් මුල්‍ය මණ්ඩලයට උපදෙස් දෙන්නේ ප්‍රශ්නගත හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් නම්, ඔබ විසින් පත් කරනු ලබන ජනාධිපති කොමිෂන් සභාව තවත් එක් කාලය කා දැමීමේ උපක්‍රමයක් ලෙස ජනතාවට තේරුම් ගනු ඇත්තේය. එබැවින්, මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මුදල් අමාත්‍යාංශයේ උපදේශක ලෙස මහා භාණ්ඩාගාරය සමග කටයුතු කිරීම නවතා දැමීම කෙරෙහි ඔබගේ කාරුණික අවධානය යොමු කරමි”. එම ලිපියේ වැඩි දුරටත් සදහන් කර තිබේ.

 

Related posts

Comments are closed.

Top