ලසන්ත ඝාතනයට ගෝඨාභය සම්බන්ධ බව ෆොන්සේකා CID යට කියයි

අට අවුරුද්දකට පෙර මහමග මහ දවාලේ ඝාතනය කරන ලද සන්ඩේ ලීඩර් ආරම්භක ප්‍රධාන කතෘ ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් එවක ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රධානියා හිටපු ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයාට බරපතල චෝදනාවක් කරයි.

මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ එම ඝාතනය පිටුපස සිටින අතර ඔවුන් එම ඝාතනය සම්බන්ධයෙන් දැන සිටි බවයි  ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසන්නේ.

ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා එම චෝදනාව නැගුවේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය සතියේ කටඋත්තරයක් දීමෙන් අනතුරුව එම්.ටී.වී මාධ්‍ය ජාලයේ  මාධ්‍යවේදියකු ඇසූ පැනයකට පිළිතුරු වශයෙනි.

ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් හිටපු හමුදා ප්‍රධානියා ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් සිකුරාදා පස් පැයක් තිස්සේ ප්‍රශ්න කළ අවස්ථාවේ එම චෝදනා සිදුකර තිබුනි.

කපිල හෙන්දවිතාරණ

හෘද සාක්ෂිය

හිටපු ජනපති, සහ ආරක්ෂක ලේකම් දෙසොහොයුරන්ට වැඩ කළ කල්ලියක් එම ඝාතනය සිදු කළ බව තම “හෘද සාක්ෂිය තමන්ට කියන බවට කරුණු සාධක” අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙන්වා දුන් බවයි ඔහු එහිදී  සදහන් කළේ.

ලසන්ත වික්‍රමතුංග සමග “වැඩි දුරම ප්‍රශ්න තිබුනේ” හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට බව පවසන අමාත්‍ය සරත් ෆොන්සේකා එහිදී අවධාරණය කළේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිදු කළ බවට චෝදනා නැගෙන මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් ලසන්ත වික්‍රමතුංග සියලු කරුණු ඒකරාශි කරගෙන තිබුණ බවයි.

“තමුසේ විනාශ කරනවා මම. තමුසේ කරන දේවල් වලට තමුසෙට දුක් විදින්න වනවා,”යි  ලසන්ත වික්‍රමතුංගට මහින්ද රාජපක්ෂ තර්ජනය කළ බවට කරුණු  ඇති බවද ඔහු  සදහන් කළේය.

තමාට ලසන්ත වික්‍රමතුංග සමග කිසිදු ප්‍රශ්නයක් නොතිබු බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

කොළඹ බුද්ධි රාජකාරි ලෙසින් කල්ලි සාදාගෙන හමුදා මෙහෙයුම් වලින් බාහිර කටයුතු ගෝඨාභය රාජපක්ෂ විසින් සිදු කරන ලද බවටද අනාවරණය කළ ඔහු තවදුරටත් සදහන් කළේ කොළඹ ආරක්ෂාව වෙනුවෙන් පවත්වන ලද සාකච්ඡා සදහා තමන් නොකැදවූ බවයි.

හමුදාපති යටතේ පැවති හමුදා ඔත්තු අංශයේ ඉහල නිලධාරීන් හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් රාජකාරියෙන් බැහැර කටයුතුවලට යොදා ගන්නා ලද බවත් ඔහුගේ චෝදනාවකි.

විශ්‍රාමික ඔත්තු සේවා ප්‍රධානී මේජර් ජෙනරාල් කපිල හෙන්දවිතාරණ ඇතුළු පිරිස් සම්බන්ධ කරගනිමින් අතුරු හමුදා කල්ලි සාදා සුදු වෑන් සංස්කෘතිය, මිනිසුන් පැහැරගැනීම ඇතුළු විවිධ ප්‍රහාර දියත් කළ බවටද ඔහු වැඩිදුරටත් චෝදනා කළේය.

මිග් ගනුදෙනුව

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරන්නට හේතුවන්නට ඇත්තේ කුප්‍රකට මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ඔහු විසින් ලීඩර් පුවත්පත සඳහා ලියන ලද ලිපියක් බව රහස් පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුනි.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සමුහ මංකොල්ලකෑම් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා ජේඩිඑස් සංවිධානයට පවසා තිබුනේ මිග් යානා ගනු දෙනුවට අදාළව ලීඩර් පුවත්පතට සිය පියා ලියු ලිපිය ඔහුගේ ඝාතනයට හේතුවන්ට ඇතැයි තමන්ගේ විශ්වාසය බව ලසන්ත වික්‍රමතුංග දියණිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ කරන ලද ප්‍රකාශය අධිකරණය වෙත කරන ලද දැනුම් දීමට පාදක වූ බව ය.

මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් සන්ඩේ ලීඩර් පුවත්පත ලියා තිබුනේ ආරක්ෂක අමාත්‍යාංශය  ගුවන් හමුදාව සඳහා යුක්රේනයේ ‘යුක්රීන්මාෂ්’ (Ukrinmash) සමාගමින් අලුතින් ද,  අලුත් වැඩියා කරන ලද ද ගුවන් යානා කිහිපයක් මිලදී ගැනීමේදී බරපතල මුල්‍ය වංචා සිදුවී ඇති බවයි.

ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබා අත් අඩංගුවට ගෙන ඇප පිට මුදා හැර ඇති හමුදා නිලධාරීන් අතර ඔත්තු සේවා සාමාජිකයන් සිටින අතර ගෙල වැලලාගෙන මියගිය හිටපු බුද්ධි අංශ නිලධාරියකු අසල තිබී ඔහු එම ඝාතනය සිදු කළ බව දැක්වෙන ලිපියක් සොයාගෙන තිබුනි.

Related posts

Comments are closed.

Top