“පුරාවිද්‍යාව රකින්න” ජනපති ආයෙත් බොබසේ සමග සාකච්ඡා | VIDEO

සිංහල බෞද්ධ නොවන ශ්‍රී ලාංකිකයන්ට එරෙහිව ප්‍රසිද්ධියේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට දහස් සංඛ්‍යාත පිරිසක් පෙත්සමක් මගින් ඉල්ලා තිබෙන බොදු බල සේනා නායකයා සමග ජනාධිපතිවරයා නැවත වතාවක් ලාංකික පුරාවස්තු රැකීම පිළිබඳ ඉහල මට්ටමේ සාකච්ඡාවක් පවත්වා තිබේ.

පුරාවිද්‍යා ස්ථාන හා පුරාවස්තු ආරක්ෂාකර ගැනීම සම්බන්ධයෙන්  24 අඟහරුවාදා  පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලද මෙම සාකච්ඡාවේදී ආරක්ෂාව සම්බන්ධයෙන් පිළිබඳ පවතින බාධා ඉවත් කර ඒවා විධිමත් කර ගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

පුරාවිද්‍යා ස්ථානවල ආරක්ෂාව සඳහා සිවිල් ආරක්ෂක බළකාය යෙදවීමට ජනාධිපති වරයා  පසුගියදා දුන් උපදෙස් ක්‍රියාත්මක වීමේ ප‍්‍රගතිය ද මෙහිදී විමසා බලා ඇත.

උතුරු නැගෙනහිර

උතුරු හා නැගෙනහිර පළාත්වල පිහිටි පුරාවිද්‍යා ස්ථාන හඳුනාගනිමින් ඒවායේ ආරක්ෂාව සඳහා සුදුසු වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නැංවීම පිළිබඳව ද එහිදී  සාකච්ඡාවට ලක් ව ඇතත් එම පළාත් නියෝජනය කරමින් කවුරු පැමිණියේදැයි ජනාධිපති මාධ්‍ය ඒකකය දැනුම් දී නැත.

රජය සහ බොදුබලසේනාව අතර සබඳතා ඉදිරියට ගෙනයමින් ජනාධිපතිවරයා ශ්‍රී ලාංකික පුරාවිද්‍යා උරුමය රැක ගැනීම සම්බන්ධයෙන් ඉහළ පෙලේ සාකච්ඡාවක් සඳහා මීට මාසයකට ඉහතදීද සම්බන්ධ කරගත් ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් සිදුකළ මුස්ලිම් විරෝධී ප්‍රකාශයක් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් ඒ අවස්ථාවේ මාධ්‍යයට නිකුත් කර තිබුනි.

අඟහරුවාදා පුරාවිද්‍යා සාකච්ඡාවේ සියලු විස්තර ජනාධිපති කාර්යාලය විසින් මාධ්‍ය වෙත ලබා දී තිබුනේ නැත.

Related posts

Comments are closed.

Top