මදනමෝදක මැඩීමට අලුතින් ආයුර්වේද සහ පංචකර්ම බලපත්‍ර

ආයුර්වේදීය මත්ද්‍රව්‍ය පාසල් දරුවන්ට විකිණීම වැළක්වීමේ අරමුණින් 2017 වසරේ සිට විධිමත් බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා  තීරණය කර ඇතැයි එම අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව පංචකර්ම මධ්‍යස්ථාන සහ ආයුර්වේද ඖෂධ අලෙවි මධ්‍යස්ථාන සදහා දැනට ලබාදී ඇති බලපත්‍ර අහෝසි කිරීම රජයේ අරමුණයි.

විශේෂයෙන්ම පාරිභෝගික ජනතාවගෙන් සහ පොලීසියෙන් ලද පැමිණිලි සළකා බැලීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මෙම තීරණය ගෙන තිබෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

ලියාපදිංචි නොවූ පුද්ගලයන් සහ ලියාපදිංචි වූ පුද්ගලයන් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් මදනමෝදක අලෙවි කිරීමේ ජාවාරමක් සිදු කරන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍ය බන්දුල යාලේගම පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුළු‍‍වේ දී ප්‍රකාශ කිරීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම තීරණය එළැඹ තිබේ.

සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුළුව පසුගියදා පවත්වා ඇත්තේ නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ දීය.

හොර ආයුර්වේද බලපත්

වෛද්‍ය වට්ටෝරුවකින් තොරව මදනමෝදක මිලදී ගැනීම තහනම් කර ඇති බව ආයුර්වේද කොමසාරිස් ඒ.එච් තිලකරත්න එහිදී සඳහන් කළ බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

නුසුදුසු පුද්ගලයන් වෙත බලපත්‍ර නිකුත් කිරිම නිසා මෙම තත්ත්වය මතුව ඇති බව ද ඔහු පෙන්වා දී තිබේ.

ව්‍යාජ ආයුර්වේද බලපත්‍රද රටපුරා ඇති බව පෙන්වා දී ඇති  ආයුර්වේද  කොමසාරිස්වරයා නව වැඩපිළිවෙල තුළින් ව්‍යාජ බලපත්‍ර පිළිබදව සහ නව බලපත්‍රය පිළිබඳව ජනතාව දැනුවත් කරන බව ද ප්‍රකාශ කර ඇත.

පංචකර්ම සදහා බලපත්‍ර ලබාදීමේදී නව ක්‍රමවේදයක් අනුගමනය කිරීමට තීරණය කර ඇත්තේ සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් ගණිකා නිවාස පවත්වාගෙන යාම නතර කිරීම සඳහා බව එහිදී පවසා ඇති සෞඛ්‍ය අමාත්‍යවරයා බලපත්‍රය නිකුත් කිරීම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ රාජකාරියක් වුවත් එවැනි ගණිකා නිවාස වැටලීම පොලීසිය සතු කාර්යභාරයක් බවත් සඳහන් කර තිබේ.

 

Related posts

Comments are closed.

Top