දිවයිනෙන් මෙතෙක් හමු වී ඇති විශාලතම ප්‍රාථමික ලෙන් සිතුවම් එකතුව මොනරාගල කිවුලේයාය, වෙට්ටඹුගල ප්‍රදේශයෙන් හමුවී තිබේ.
එහිදී ප්‍රාථමික ලෙන් සිතුවම් ගණයට අයත් සිතුවම් 200 – 300 ක පමණ එකතුවක් හමු වී තිබෙන බවයි 02 බ්‍රහස්පතින්දා අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
මෙම ලෙන දිගින් මීටර් 75 ක් පමණ වන අතර උස මීටර් 20 ක් පමණ වේ.
එහි කටාරමට යටින් ක්‍රි.පූ. 3-2 සියවසට අයත් පූර්ව බ්රාහ්මී අක්ෂරයෙන් පුරාණ සිංහල භාෂාවට අයත් ලෙන් ලිපියක්ද හමු වී ඇත.
එසේම ලෙනට ඉහළින් ඇති පර්වතයේ ශිලා ලිපි දෙකක් ද දක්නට ලැබෙන අතර එම ලේඛන සියල්ල අනුව ශුමන පර්වතය නමින් හඳුන්වා ඇති මෙම ලෙන දේවානම් පියතිස්ස රජ සමයේ දී රුහුණට පලා ගිය මහානාග රජුගේ පාලන කාලයට අයත් බවට අනුමාන කෙරේ.
මෙම ලෙන භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් එකල පූජා කරන ලද්දක් බව අනාවරණය වී ඇතැයි පුරාවිද්‍යාඥයන් පවසන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරන්නේ.
ලෙනෙහි මීටර් 60 ක් දිගින් හා මීටර් 03 ක් උසින් යුතු ප්‍රදේශයක ඇඳ ඇති සිතුවම් අතර මානව රූප, සත්ව රූප සහ සංකේත රූප ද විවිධ සංකේතද දක්නට තිබේ.
ඒවා ප්රාග් ඓතිහාසික අවධියේ හෝ ඓතිහාසික අවධියේ ප්‍රාථමික ජනයා අභිචාරාත්මක අරමුණකින් චිත්රණය කරන්නට ඇති බව පුරා විද්‍යාඥයන්ගේ මතයයි.
මීට ප්‍රථම ප්‍රාථමික යුගයට අයත් ගුහා සිතුවම් තන්තිරිමලය, බිල්ලෑව, රජගල, ගොනාගොල්ල ආදී ප්‍රදේශවලින් ද විශාල ප්‍රමාණයෙන් හමුවී ඇති බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.