කම්කරු නායක ඝාතනයක් ගැන ජනපතිගෙන් තොරතුරු ඉල්ලයි |VIDEO

කටුනායක නිදහස් වෙළෙඳ කලාප සේවක උද්ඝෝෂණයකට එරෙහිව දියත්  කරන ලද පොලිස් වෙඩි ප්‍රහාරයකින් කම්කරු නායකයකු හය අවුරුද්දකට ඉහතදී  ඝාතනය කිරීම සම්බන්ධයෙන් කරුණු විමර්ශනයට පත්කරන ලද  ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමේ වාර්තාව ප්‍රසිද්ධියට පත් කරන ලෙස මානව හිමිකම් ක්‍රියාධරයන් රජය විසින් අලුතින් සම්මත කරගන්නා ලද පනතක් පදනම් කොටගෙන යළිත් වරක් රජයෙන් ඉල්ලා තිබේ.

තොරතුරු දැනගැනීම පනත යටතේ මහානාම තිලකරත්න කමිටු වාර්තාවේ ඇතුලත් කරුණු සම්බන්ධයෙන් දැන ගැනීමට අයිතියක් ඇති බව පවසමින්  ඒ යටතේ ලිපියක් 6 සදුදා පෙරවරුවේ  ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දුන් මියගිය රොෂේන් චානක මාතාව මේරි ස්වර්ණ කාන්ති ඇතුලු පිරිසට ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් පවසා ඇත්තේ ඒ සම්බන්ධයෙන්  ඔවුන්ට “කළ හැකි සියලුම දේ කර අවසන්” බවයි .

පොලිස් වෙඩි පහරින් මිය ගිය තම පුතු වෙනුවෙන් පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ වන්දි මුදලක්  හිමි වුවත් සිද්ධියෙන් ගුටි කෑ සහ තුවාල ලබා අවතැන්වී සිටින පිරිස් වෙත  කිසිදු වන්දි මුදලක් හිමි නොවු බවද ඇය එහිදී සඳහන් කළාය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මානව හිමිකම් ක්‍රියාධර සරත් ඉද්දමල්ගොඩ පියතුමා සදහන් කළේ මහානාම තිලකරත්න කමිටු වාර්තාව ලබා දෙන ලෙස මීට පෙර අවස්ථා තුනකදී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලිම් කළත් මේ වන තෙක් එය ලබා ගැනීමට නොහැකි වු බවයි.

පෙබරවාරි 3 වැනිදායින් පසු තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක වන බව රජයෙන් ප්‍රකාශ කළද අද දිනයේ එවැනි නිලධාරියෙක් හමු වීමට අවස්ථාව උදා නොවු බවද පැවසු පියතුමා අවධාරණය කළේ ඒ වෙනුවට හමුවීමට හැකිවුයේ ජනාධිපති ලේකම්වරයෙක් බවයි.

ආණ්ඩුව නිවේදනය කර ඇති පරිදි  ඕනෑම පුද්ගලයකුට රාජ්‍ය ආයතන වලින්තො රතුරු ඉල්ලීමේ හැකියාව පවතින අතර තොරතුරු නිලධාරීන් පත්කර නොමැති ආයතනවල ආයතන ප්‍රධානියා එම තොරතුරු ලබා දීමේ වගකීමෙන් බැඳී සිටියි.

තොරතුරු දැනගැනීමේ පනතට අදාල  කාර්යාලයක් වෙනත් ස්ථානයක පිහිටා තිබෙන බව කී පොලිස් නිලධාරීන් කෙසේ වෙතත්,  එම ස්ථානය  වෙත රැගෙන යෑමට නොහැකි බවට අද දිනයේ  තමන්ට කී බව ද  සරත් ඉද්දමල්ගොඩ පියතුමා මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.

රජයේ ආයතන සහ කොමිසන් සභා වලින් මහජනතාවට තොරතුරු ලබාගත හැකි බව ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (සංවර්ධන හා සැලසුම්) බී. කේ. එස්. රවීන්ද්‍ර විසින් ප්‍රකාශයට පත් කර ඇතත්, ඒ සඳහා “වෙනම කාර්යාලයක්” ඇති බවක් ප්‍රකාශයට පත් කර නොමැත.

තොරතුරු නිලධාරීන් හෝ ආයතන ප්‍රධානීන් හෝ තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කරන්නේ නම් මාස දෙකක් ඇතුලත තොරතුරු කොමිසන් සභාවට පැමිණිළි කළ හැකි බවත්, එයද අසාර්ථක වුවහොත් අභියාචනාධිකරණයට යා හැකි බවත් ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

තනාපති වරප්‍රසාද

මහින්ද රජපක්ෂ ආණ්ඩු සමයේදි සම්මත කිරිමට උත්සහ දැරු විශ්‍රාම වැටුප් පනත් කෙටුම් පතට විරෝධය දැක්වීම වෙනුවෙන්  සංවිධානය කරන ලද විරෝධතා ව්‍යාපාරයකට   පොලිසිය විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකට ලක්විමෙන් රෝෂෙන් චානක මරණයට පත්වන්නේ 2011 මැයි 31 වැනි දිනය.

පසුව ඒ සම්බන්ධව කරුණු සොයා බැලීම සඳහා එවක සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඒක පුද්ගල විශේෂ ජනාධිපති කොමිසමක් පත්කරනු ලබන්නේය .ඒ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු මහානාම තිලකරත්නගේ සභාපතිත්වයෙනි.එම කොමිසමේ වාර්තාව මහින්ද රාජපක්ෂ වෙත භාර දිමෙන් අනතුරුව ප්‍රසිද්ධියට පත් කිරිමක් හෝ ඒ සම්බන්ධව වැඩිදුර කටයුතු කිරිමක් හෝ සිදු නොවුණි.

කෙසේ වෙතත් එක් අයෙකු මරණයට පත් කරමින් තවත් සිය ගණනකට තුවාල සිදු කරමින් පොලිසිය එල්ල කරන ලද ප්‍රහාරයේ වගකීම බාර ගත් එවක සිටි පොලිස්පති මහින්ද බාලසුරිය  සිය පදවියෙන් ඉල්ලා අස්වුවද පසුව  මහින්ද  රාජපක්ෂ ආණ්ඩුව විසින් ඔහුව නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් පදවියටත් ඉන් අනතුරුව විදෙස්  තනාපති ධූරයකටත් පත්කරන ලදි.

Related posts

Comments are closed.

Top