අතුරුදහන් අයගේ ඥාතීන්ගෙන් රජයේ නිලධාරීන්ට පංති

රජය විසින් ප්‍රසිද්ධියට පත් කර ඇති පරිදි ආණ්ඩුවේ තොරතුරු ලබා දෙන ආකාරය රාජ්‍ය සේවයේ ඇතැම් නිලධාරීන්ට පැහැදිලි කර දීමට අතුරුදහන් වුවන්ගේ ඥාතීන් පිරිසකට සිදුවී තිබේ.

පසුගිය සතියේ සිට ක්‍රියාත්මක වන තොරතුරු දැනගැනීමේ පනත මගින් ඕනෑම ශ්‍රී ලංකික පුරවැසියකුට රජය සතු තොරතුරු ඉල්ලීමට ඉඩ සැලසෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබුනි.

ආණ්ඩුවේ ආයතන ගණනාවකට ගොස්, නිමක් නැති කොමිසම් හමුවේ සාක්කි දී පලක් නොවූ අතුරුදහන් වුවන්ගේ ඥාති කාන්තාවන් පිරිසක් තීරණය කොට ඇත්තේ ආණ්ඩුවේ අලුත්ම පනතින් ප්‍රයෝජන ගැනීමටය.

පනත ක්‍රියාත්මක බව රජය ප්‍රකාශයට පත්කළ පෙබරවාරි  3 වැනි සිකුරාදා ගිනි මද්දහනේ මඩකලපුවේ රජයේ ආයතන කිහිපයකටම අතුරුදහන් තම ඥාතීන් සම්බන්ධ තොරතුරු ඉල්ලා ගිය ඔවුන් මුහුණ දී ඇත්තේ ආණ්ඩුවේ ප්‍රචාරයෙන් පැවසුනාට වඩා සපුරාම වෙනස් අත් දැකීමකටය.

ප්‍රදේශයේ ප්‍රජා සේවිකාවකගේත් ආධාර ඇතිව එම කාන්තාවන් පිරිස රජය විසින් දී ඇති උපදෙස් අනුව තොරතුරු ලබා ගැනීමේ අයැදුම්පත් භාර දීමට මඩකලපු මානව හිමිකම් කොමිසම් කාර්යාලයට, බන්ධනාගාර දෙපාර්තමේන්තුවට, කච්චේරියට, නැගෙනහිර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට සහ  මඩකලපුව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට ගොස් ඇත.

“ගිය ගිය හැමතැනම අපිට සිද්ධවුණේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත ගැන පන්ති පවත්වන්න,” යි අමලරාජ් අමලනායකී පවසන්නීය.

ඇගේ සැමියා ඇන්තනි අමලරාජ් 2009 පෙබරවාරියේ සිට ආගිය අතක් නැත.

“අපිට තොරතුරු පනතේ වටිනාකම තේරෙනවා. ඒකයි, පළමුවැනි දවසේම ඉල්ලුම් පත්‍ර දාන්න ගියේ.”

සංක්‍රාන්ති යුක්තිය

ආණ්ඩුවේ සංක්‍රාන්ති යුක්ති යාන්ත්‍රණයේ මුල් ගලක් සේ හඳුන්වා දී ඇති සත්‍යය සොයා ගැනීම සඳහා අලුත් පනත පිහිට වනු ඇති බව ජයදීපා රාමලිංගම් ගේ විශ්වාසයයි.

යුද්ධයේ අවසානය රජය විසින් ප්‍රකාශයට පත් කර සිව් දිනකින් අතුරුදහන් වූ දා සිට සිය සැමියා සොයා ගැනීම ඇය ගත් වීරිය නිමක් නැත.

“නැතිවෙච්ච අය හොයාගන්න අපි නොකළ දෙයක් නෑ. හමුදා කඳවුරුවලට, ආණ්ඩුවේ කාර්යාල වලට අපි ගියා. පූජා පැවැත්වුවා, පෙළපාලි ගියා. මේක අපිට ඒ අය හොයාගන්න ලැබුනු අලුත් ක්‍රමය.”

කෙසේ වෙතත්, පනත ගැන තබා මනුස්ස කමක් වත් පාන්නට ඇතැම් නිලධාරීන් දැන නොසිටි බව ඔවුන් ලද අත්දැකීමකි.

නිලධාරීන්ගේ අකරුණාව

“එක නිලධාරියෙක් මගෙන් ඇහුවේ අට අවුරුද්දක් හිටියා නම්, තව ටික දවසක් බලා ඉන්න බැරි ඇයි කියලයි. මේක තමයි මේ අවුරුදු අටේම අපිට පෙන්නපු අකාරුණික කම,” යි අමලරාජ් අමලනායකී කම්පා වෙයි.

තොරතුරු දැනගැනීමේ අයිතිය පිලිබඳ පනත ක්‍රියාත්මක වීම පටන් ගත් දවසේම කාන්තාවන් ගිය රජයේ කාර්යාල පහකින් අයැදුම් පත් භාරගෙන ඇත්තේ තුන් පොළකින් පමණි.

නැගෙනහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ඉල්ලීම් ප්‍රතික්ෂේප කොට තිබේ.

බන්ධනාගාර නිලධාරීන් පවසා ඇත්තේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා පුනරුත්ථාපන අමාත්‍යංශයට ඉල්ලුම් පත් භාර දෙන ලෙසයි.

“අපි කියන්නේ නෑ හෙටම හොයලා දෙන්න කියලා. අපි ඉල්ලන්නේ මොකක් හරි තොරතුරක්,” යයි අමලරාජ් අමලනායකී පවසයි.

තොරතුරු දැනගැනීමේ අයිතිය

රාජ්‍ය සේවය සලසනු ලබන ඕනෑම රාජ්‍ය ආයතනයකින් හෝ පුද්ගලික ආයතනයකින් තොරතුරු දැනගැනීමට මහජනතාවට ඇති අයිතිය ක‍්‍රියාත්මක කිරීම සඳහා තොරතුරු නිලධාරීන් සහ අභියාචනා නිලධාරීන් ලෙස රජය සේවයට සම්බන්ධ නිලධාරීන් 9000ක් පත් කරන බව ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පසුගිය මාසය මැදදී ප්‍රකාශයට පත් කළේය.

ඔවුන්ගේ පුහුණු කටයුතු ආරම්භ කරන ලද්දේ ඉකුත් නොවැම්බරයේය.

රජයේ ආයතනවල තොරතුරු නිලධාරීන් අතරින් සියයට 90ක්ම පෙබරවාරි 1 දා වනවිට පත්කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බී කේ එස් රවීන්ද්‍ර ජනමාධ්‍ය හමුවේ කියා තිබුනි.

Related posts

Comments are closed.

Top