ජනතාවට පීඩාකාරී නොවන ලෙස හම්බන්තොට දියුනු කිරීම ගැන බලන්න කමිටුවක්

හම්බන්තොට ප්‍රදේශයේ ජනතාවට පීඩාවක් නොවන අයුරින් මෙන්ම යෝජිත හම්බන්තොට කර්මාන්ත ව්‍යාපෘතියටද යෝග්‍ය අයුරින් සංවර්ධන වැඩසටහන ක්‍රියාවට නැංවිය යුතු බව අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා පවසයි.
හම්බන්තොට වරාය ආශ්‍රිත සංවර්ධන කලාපයේ ඉදිරි වැඩකටයුතු පිළිබඳ එම කලාපය පිළිබඳව පත්කළ කමිටු සාමාජිකයන් සහ රාජ්‍ය නිලධාරීන් අතර 6 සඳුදා අරලියගහ මන්දිරයේදී පවත්වා ඇති සාකච්ජාවකදී අමාත්‍ය සාගල රත්නායක ඒ බැව් සදහන් කර තිබේ.

කමිටුවේ සෙසු සාමාජිකයන් වන හිටපු කතානායක චමල් රාජපක්ෂ සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, ධීවර අමාත්‍ය මහින්ද අමරවීර යන සහ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබද අමාත්‍ය මලික් සමරවික්‍රම ද මෙම සාකච්ජාවට එක්ව සිටි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

යෝජිත හම්බන්තොට කර්මාන්ත ව්‍යාපෘතියට දැනට අත්පත්කරගෙන ඇති ජනාවාස නොවන ප්‍රදේශ කර්මාන්ත කලාපය සඳහා යොදාගැනීමට හැකි බව පෙන්වා දී ඇති සාගල රත්නායක අමාත්‍යවරයා ඊට අමතරව අවශ්‍ය වන ව්‍යාපෘතීන් සඳහා දැනට රජය සතුව පවතින ඉඩම් යොදාගැනීමට ඇති හැකියාව සොයා බලන ලෙස හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇත.

අමාත්‍යවරයා එහිදී තව දුරටත් ප්‍රකාශ කර ඇත්තේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඩම් යොදාගැනීමේදී හැකිතාක් ජනාවාසවලින් තොර රජය සතු ඉඩම් පිළිබඳ අවධානය යොමුකිරීම සුදුසු වන බවයි.

හිටපු කතානායක චමල් රාජපක්ෂ එහිදී කියා ඇත්තේ හම්බන්තොට වරාය ආශ්‍රිත කර්මාන්ත කලාපය සඳහා පසුගිය රජය සමයේ වෙන් කර, දැනට නිරවුල් කරගෙන ඇති ඉඩම් සහ ජනාවාස අඩු ප්‍රදේශවලින් අවශ්‍ය ඉඩම් පහසුකම් සපුරාගැනීම වඩාත් යෝග්‍ය වන බවයි.

වඩා හොඳ නිවාස

එසේම ඉදිරියේදී අවශ්‍ය වුවහොත් සංවර්ධනය සඳහා යොදාගන්නා ප්‍රදේශවල ජනතාවට පවතින නිවාසවලට වඩා හොඳ නිවාස සහ ඉඩම් ලබාදිමට ඇති හැකියාවද ඔහු අවධානයට ලක් කර තිබේ.

නිරවුල් කරගන්නා ලද ඉඩම් යොදාගනිමින් දැනට යෝජිත කර්මාන්ත පුරයේ මුල් අදියර ආරම්භ කිරීමටත් ඉන් අනතුරුව අවශ්‍ය පරිදි ජනතාවට සිදුවන අපහසුතා අවමවන පරිදි සෙසු ව්‍යාපෘති ඇරඹීම පිළිබඳව ද එහිදී එකඟතාවයකට එලඹි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කරයි.
මෙම අවස්ථාවට එක්වූ දක්ෂිණ සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයා සහ නාගරික සංවර්ධන අධිකාරිය ඇතුලු රාජ්‍ය ආයතන කිහිපයක නිලධාරීන්ද කමිටුව හමුවේ අදහස් දක්වමින් කියා ඇත්තේ දැනට මුලික කර්මාන්ත පියවරයන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යවන බිම් ප්‍රමාණයන් දක්ෂිණ සංවර්ධන මණ්ඩලය මගින් හඳුනාගෙන නිරවුල් කරගෙන ඇති බවයි.

මෙම අවස්ථාවට දකුණු පළාත් විපක්ෂ නායක තෙන්නකෝන් නිලමේ , නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශ ලේකම් ජගත් විජේවීර , දක්ෂිණ සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුලු රාජ්‍ය නිලධාරීන් ද එක්ව තිබේ.

 

Related posts

Comments are closed.

Top