ත්‍රස්ත පනත ඉවත් කිරීමට වෙනත් සංවිධාන එක් නොවීම ගැන කැෆේ කණගාටුව

unnamed

මාස අටක් වැනි කෙටි කාලයක් තුල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දෙවරක් ලද පරාජය සහ බහුතරයක් සහිත නව පාර්ලිමේන්තුවක් පිහිටුවා ඇති මෙවන් අවස්ථාවක රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ පෞද්ගලික නිදහසට හානි පමුණුවන ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අවලංගු කිරීමට අවස්තාවක් ලැබී ඇති බවයි නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (කැෆේ) ප්‍රකාශ කරන්නේ.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත(PTA) ඉවත් කිරීමේ ව්‍යාපාරයට සහය දැක්වූ රාජ්‍ය නොවන සංවිධාන සහ සියලුම දේශපාලන ක්‍රියාකාරී කණ්ඩායම් වෙත නිවේදනයක් නිකුත් කළ කැෆේ සංවිධානය, ඒ සම්බන්ධයෙන් තවදුරටත් ක්‍රියා නොකර නිහඬ වීම සම්බන්ධයෙන් සිය කනගාටුව ප්‍රකාශ කරයි.

සිය සංවිධාන විසින් කාලය සහ ප්‍රාග්ධනය වැය කරමින් ත්‍රස්ත පනත මගින් ප්‍රජාතන්ත්‍රවාදයට සහ පෞද්ගලිකත්වයට සිදුවන හානි පිළිබඳ ජනතාව දැනුවත් කරමින් විරෝධතා සහ උද්ඝෝෂණ සංවිධානය කරමින් ගෙනගිය වැඩපිළිවල සාර්ථක කර ගත හැකි මොහොතක ඒ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමට පිළිගත හැකි හේතුවක් ඉදිරිපත් වී නැති බවයි එම ආයතනය පවසන්නේ.

කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රජිත් කීර්ති තෙන්නකෝන්

කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රජිත් කීර්ති තෙන්නකෝන්

ආරාධනයක්

ත්‍රස්ත පනත ඉවත් කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුව ඉදිරි මාස දෙක ඇතුලත යම් පියවරක්, යෝජනාවක් ගෙන ආ යුතු බව සිය සංවිධානයේ විශ්වාසය වන බවත් නිවේදනයේ සඳහන්.

එවැනි යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුවොත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 16 දෙනා සහ ජනතා විමුක්ති පෙරමුණ ත්‍රස්ත පනත ඉවත් කිරීම වෙනුවෙන් සිය ඡන්දය ප්‍රකාශ කරනු ඇති බව කැෆේ සිය විශ්වාසය පළ කරයි.

වසර ගණනාවක් තිස්සේ ත්‍රස්ත පනත ඉවත් කිරීමේ පරමාර්ථය වෙනුවෙන් සංවිධානය වී ක්‍රියා කළ සියලු රාජ්‍ය නොවන සංවිධාන සහ දේශපාලන ක්‍රියාකාරීන්ට ආරාධනයක් කරන කැෆේ සංවිධානය ඉලා සිටින්නේ ලැබී ඇති අවස්ථාව අපතේ නොයවා ප්‍රජාතන්ත්‍ර විරෝධී ත්‍රස්ත පනත අවලංගු කිරීමේ කටයුත්තට නැවතත් එකතු වන ලෙසයි.

Related posts

Comments are closed.

Top