අර්ජුන මහේන්ද්‍රන් ගැන FCID පරීක්ෂණයක් ඉල්ලයි

 

හිටපු මහ බැංකු අධිපතිවරයා විසින් සිදුකර ඇති පෞද්ගලික හා නිල වියදම් සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලමින් දූෂණ විරෝධී පෙරමුණ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් විසින් ජනාධිපතිවරයාගේ අනුමැතියකින් තොරව රුපියල් හයකෝටි හැට දෙලක්ෂයකට වැඩි මුදලක් වැය කර ඇති බවයි දූෂණ විරෝධී පෙරමුණ එම ලිපිය මගින් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ.

ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් විසින් සිදු කරනු ලැබූවේ යැයි පැවසෙන පෞද්ගලික හා නිල වියදම් අක්‍රමිකතා පිළිබඳව වන අභ්‍යන්තර විගණන වාර්තාවක් සම්බන්ධයෙන් ජනමාධ්‍ය ද වාර්තා කොට ඇති බව එම ලිපියේ සඳහන්ය.

මුදල් පනත යටතේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් වෙත ලබා දී තිබූ වැටුප්, දීමනා සහ වරප්‍රසාදවලට අමතරව ජනාධිපතිවරයා විසින් අනුමත නොකරන ලද වියදම් විශාල ප්‍රමාණයක් පිළිබදව අදාළ විගණන වාර්තාවේ සවිස්තර කරුණු දැක්වීමක් සිදු කොට ඇති බව එහි වැඩි දුරටත් දැක්වේ.

“ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය විනය ජාතික වැදගත්කමකින් යුතු කරුණකි. ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පමණක් නොව බැංකු වර්ගීකරණ ආයතනයන් හි දර්ශක සදහා ද එය සෘජුව බලපානු ලබයි,” යනුවෙන් එම පෙරමුණ වෙනුවෙන් එහි සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමි සහ උපදේශක කීර්ති තෙන්නකෝන් විසින් 8 බදාදා දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත යොමු කළ ලිපියේ සඳහන්ය.

ජනාධිපතිවරයා විසින් අනුමත නොකළ රුපියල් හයකෝටි හැට දෙලක්ෂයකට වැඩි මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් රහස් පොලීසිය හෝ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය හරහා විමර්ශනයක් කිරීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරන මෙන් එම ලිපියෙන් ඉල්ලා තිබේ.

Related posts

Comments are closed.

Top